Archives

You are currently viewing archive for August 2011
Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ තොරතුරු මහජනයා වෙත කඩිනමින් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේ නිර්මාණය කළ විගමනික තොරතුරු මධ්‍යස්ථානය අද (අගෝ 23) පෙරවරුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධාන්වයෙන් විවෘත විය.

එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වු ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා, විදේශ රැකියා ක්‍ෂේත්‍රය ඉලක්කගත ලෙස දියුණු කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බව පැවසීය. එහිදි රටේ ආර්ථිකය සවිමත් කිරීමට එතෙර ශ්‍රමය වගුරුවන විගමනික ප්‍රජාවගේ සුබසාධනය සැලසිම මූලික තැනෙහි ලා ගැනෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දුක්ගන්නාරාළ තනතුරෙහි කාර්යය අදින් පසු විවෘත කෙරුණු තොරතුරු මධ්‍යස්ථානය මගින් ඉටුවනු ඇති බවද සඳහන් කළේය. නවීන තාක්ෂණය සමග බැදෙමින් මහජනයාට කඩිනම් සේවා සැපයීම රාජ්‍ය අංශයෙහි වගකීම බව එහිදි සදහන් කළ අමාත්‍යවරයා ඉලක්ක ගත වැඩපිළිවෙළ අනුව ලබන වසර අවසන් විමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩදාසි රහිත, තොරතුරු තාක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීම තම අපේක්ෂාව බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවේ ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා අදහස් දක්වමින්, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අරඹා ගතවූ වසර 05ක කාලය තුළ එයට ලැබී ඇති මහජන ඇමතුම් මිලියන 07ක් අතරින් වැඩිම ඇමතුම් ලැබී ඇත්තේ විදේශ රැකියා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් බවත් එවැනි පසුබිමක් තුළ විගමනිකයින් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරීම කාලින අවශ්‍යතාවක් සම්පූර්ණ වීමක් බව පැවසීය.

මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජෙසිංහ, කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක හා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී රිචඞ් ඩැන්ෂින්ගර් යන මහත්වරුන් ද සහභාගී වීය.

20110824-img_4438.jpg
info_center@slbfe.lk

විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතතාවය හා සුබසාධනය වෙනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළට අනුව යමින් මෙම තොරතුරු මධ්‍යස්ථානය නිර්මාණය කොට තිබේ. විවෘත කෙරුණ තොරතුරු මධ්‍යස්ථානය මගින් විදේශයන්හි රැකියාවල නිරතවන්නන් හට අවශ්‍ය තොරතුරු හා සේවා සැපයෙන අතර විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල අයට හා රැකියා නියෝජීතයින් වෙනුවෙන්ද එමගින් සේවා සැපයීම කාර්යාංශයේ අපේක්ෂාව වේ. එමෙන්ම විදේශ රැකියා බලාපොරොත්තුවන පුද්ගලයින්ටද එම මධ්‍යස්ථානය හරහා තොරතුරු ලබාගත හැකිය.

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇතිවන ගැටලූ සඳහා අවශ්‍ය මැදිහත්වීම් හා ඔවුන් වෙනුවෙන් ඉතා කඩිනම් සේවා සැපයීම විවෘත කෙරෙන තොරතුරු මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ. එමෙන්ම රට රැකියා ප්‍රවර්ධනය හා විදේශ රැකියා ක්‍ෂේත්‍රය හා බැදෙන සියලූ අංශ කාර්යක්ෂම ලෙස ඒකාබද්ධ කිරිම ද මෙමගින් සිදුකිරීමට අපේක්ෂිත මහජන සේවාවන් අතරවේ.

විගමනික තොරතුරු මධ්‍යස්ථානය දිනයේ පැය 24 පුරා මහජනතාවට විවෘතව පවතින අතර විශේෂ පුහුණු කාර්ය මණ්ඩලයක් මෙහි සේවයේ යොදවා තිබේ.

0112879900 සිට 902 දක්වා වන දුරකථන අංක හා
011287903 යන ෆැක්ස් අංක මාර්ගයෙන් තොරතුරු මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකිය.
එමෙන්ම info_center@slbfe.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ද ඒ හා සම්බන්ධවිය හැකි අතර infocenter_slbfe යන skype අන්තර් ජාල ලිපිනය හරහා තොරතුරු මධ්‍යස්ථානයට සජීවී වීඩියෝ ඇමතුම් ලබාගනීමට පහසුකම් සලසා තිබේ.



Category: Sinhala
Posted by: admin
කොරියාවේ රැකියාවේ යෙදී සිට යලි මව් බිමට පැමිණෙන තරුණ තරුණියන්ගේ හැකියාවන් මෙරට ආර්ථිකයේ සංවර්ධනය සඳහා සකී‍්‍රයව දායක කරගැනීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. මේ වෙනුවෙන් කටයුතු කරන ඕනෑම සංගමයකට තම අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සහය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ කොරියාවේ රැකියා වල නිරතව සිට නැවත මව් බිමට පැමිණෙන ශ‍්‍රමිකයන්ගේ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි. කාර්යාංශයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා කියා සිටියේ කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා කම්කරු අමාත්‍යවරයාව සිටියදී මූලික අඩිතාලම දැමූ බවයි. එදා සිට අද දක්වා කොරියාවෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන රැකියා ප‍්‍රමාණය වසරෙන් වසර වැඩි වන බව ද ඔහු අවධාරණය කළේය. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 60ක් ස්ථාපනය කිරීමට යෝජනා කළ ද ඒ සඳහා අවසර ලැබුණේ මධ්‍යස්ථාන 28ක් පිහිටුවීමට පමණි. කෙසේ වුවද එම මධ්‍යස්ථාන 28 මගින් ප‍්‍රවේශ පත‍්‍ර 51000ක් පමණ නිකුත් කිරීමට හැකිවූ බවත් මෙවර විභාගයෙන් කොරියානු රැකියා සඳහා 9400 දෙනකු පමණ තෝරාගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක් වූ ශී‍්‍ර ලංකාවේ දකුණු කොරියා තානාපති චොයි ජුන් මූන් Choi Gong Moon කියා සිටියේ කොරියානු රැකියා සඳහා ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු වන බවයි. එමනිසා මෙවැනි සංගමයක් පිහිටුවීම තමන් අගය කරන බව ද ඔහු සඳහන් කළේය. මෙහිදී ටයිකොන්ඩෝ සංදර්ශනයක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට කොරියානු රැකියා බලපත‍්‍ර ක‍්‍රමයේ ශී‍්‍ර ලංකා අධ්‍යක්ෂ කිම් යුන් හුන් Kim Kyun Hyun, කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ තරංග නලීන් ගම්ලත් යන මහත්වරුන් ද එක්වී සිටියහ.

(අමාත්‍යතුමන් විසින් එහිදී පළමු සාමාජිකාවහට අයදුම්පත‍්‍රය ලබාදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ)

20110822-picture_734.jpg

20110822-picture_982.jpg



Category: Sinhala
Posted by: admin
රාමසාන් උත්සවය නිමිත්තෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ තෝරාගත් ඉස්ලාම් භක්තික පවුල් 600කට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඊයේ සවස (අගෝ 18) මාලිගාවත්ත තරුණ මුස්ලිම් සමිති ශාලාවේදි පැවැත්විණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රාමසාන් උපවාස සමයට සමගාමිව වාර්ෂිකව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. එම අවස්ථාවට සහභාගී වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කාන්තාවකට වියලි ආහාර ද්‍රව්‍ය සහිත බෑගයක් ප්‍රදානය කළ අයරු ඡායාරූපයේ දැක්වේ. ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ එච්. එම්. ෆවුසි මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ද මෙහි වෙති.


20110819-img_3003.jpg



Category: Sinhala
Posted by: admin
නව විදේශ රැකියා වෙළදපොල හා නව වෘත්තීන් වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩසටහනෙහි තවත් ඉදිරි පියවරක් තබමින් විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා දැනට මැලේසියාවේ රැකියා ප්‍රවර්ධන සංචාරයක නිරත වී සිටී.

මෙම වැඩසටහන අතරතුර ඇමතිවරයා ඇතුළු කණ්ඩායම පසුගිය ඉරිදා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ඉල්ලීම පරිදි මැලේසියාවේ, පීනෑන්ග් නගරයේ වසර 95 ක් තිස්සේ පවත්වාගෙන යන මහින්දාරාම විහාරය වැදපුදා ගැනීමට ද අමතක නොකළේය. මෙහිදී විහාරාධිපති ගරු ඇල්ගිරියේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ, දොස්තර කිම් මහතා ප්‍රමුඛ දායක දායිකාවන් විසින් පරිත්‍යාග කරන ලද රෝදපුටු, කිහිලිකරු ඇතුළු උපකරණ රැසක් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සදහා අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම වෙත පරිත්‍යාග කරන ලදි. ජායාරූපයේ දැක්වෙන්නේ ඇමතිවරයා විසින් විහාරාධිපති ස්වාමීන්වහන්සේ අතින් ප්‍රථම රෝද පුටුව ලබා ගන්නා අවස්ථාවයි.


20110817-malaysia.jpg


Category: Sinhala
Posted by: admin
අවසන් දිනයේ පැමිණිම ඉතාම අඩුයි

දකුණු කොරියාවේ රැකියා සඳහා මූලික සුදුසුකම වන භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත‍්‍ර ලබාගැනීමට අද දිනයේ (2011-08-11) අයදුම්කරුවන්ගේ පැමීණීම ඉතාම අඩු මට්ටමක තිබිණි. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 28 කදී අයදුම්පත්‍ර නිකුත් කෙරුණූ අතර පසුගිය 08 වැනිදා ආරම්භ වූ අයදුම්පත්‍ර ලබාදීම අදින් අවසන් විය. දිවයිනේ සෙසු ප්‍රදේශවල මධ්‍යස්ථානවලද අයදුම්පත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස ඉතාම අඩු අගයක්ගත් අතර අද වනවිට අයදුම්පත්‍ර 45000 ක් පමණ නිකුත්කර තිබිණි. අයදුම්පත්‍ර ලබාදීම ආරම්භ වූ පසුගිය සදුදා දිනයේදී බම්බලපිටිය ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි මධ්‍යස්ථානයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් පැවතියද එය එදිනම අවසන් විය. උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි මධ්‍යස්ථානවලට අයදුම්කරුවන්ගේ පැමිණීමද ඉතාම අවම මට්ටමක පැවතිණී.

මෙවර විභාගය ඔක්තොම්බර් 08 හා 09 යන දෙදින තුල කොළඹ නගර සීමාවේ පාසල් කිහිපයකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම විභාගයෙන් 9500 දෙනෙකු පමණ කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට නියමිතය.

20110811-dfd.jpg



Category: Sinhala
Posted by: admin
මෙරට ශ්‍රමිකයින් නුපුහුණු සේවකයින් ලෙස විදේශ රැකියා සදහා යැවීම වෙනුවට අර්ධ පුහුණු හා පුහුණු සේවකයින් ලෙස විදේශ රැකියා සදහා යොමු කිරීම ශ්‍රී ලංකා රජයේ සහ තම අමාත්‍යාංශයේ අරමුණ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විදේශ රැකියාවල නියුතු ශ්‍රමික ප්‍රජාවගේ හැකියා හදුනා ගැනීම සදහා ජාතික වැඩසටහනක් පිළියෙල කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කොට තිබූ වැඩමුළුවකදීය. කොළඹ ටාජ් සමුද්‍රා හොලටයේ ඊයේ සහ අද පැවැත්වෙන වැඩමුළුවේ පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍යවරයා ඊට සහභාගී විය. මෙම වැඩමුළුව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍යාංශයේ හා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් පැවැත්වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සිය අමාත්‍යාංශය මගින් ආරම්භ කොට ඇති රැකියා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව : Employment Promotional Road show Series පිළිබදව ද එහිදී කරුණු දැක්වීය. එම වැඩසටහනේ ප්‍රධාන අරමුණ අලුත් රැකියා වෙළදෙපාළ වෙත ප්‍රවේශවීම හා ඉහළ වෘත්තීන් සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමේ අවස්ථා ලබා ගැනීම බව පැවසූ අමාත්‍යවරයා එම අරමුණ ඉදිරි වසර කිහිපයේදී ඉටුකර ගැනීම සදහා විදේශීය රටවල්ල රැකියා සපයන සපයන ආයතන, හා රට රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්වලට වඩ වඩාත් යොමුවීමට සිය අමාත්‍යාංශය ක්‍රියා කරන බවද පැවසීය.
තේ පොල් රබර් හා නිමි ඇදුම් ඉක්මවා යමින් ලංකා ආර්ථිකයේ ප්‍රධාන විදේශ විනිමය උපයන්නා බවට පත්වීමට විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමික ජනතාවට හැකිවී ඇති බව ද එහිදී සදහන් කළ අමාත්‍යවරයා තම අරමුණ රටේ ආර්ථිකයට මෙම ක්ෂේත්‍රයේ කෙරෙන දායකත්වය තවදුරටත් වැඩි කිරිම බවද නුපුහුණු කාන්තාවන් වෙනුවට පුහුණු හා අර්ධ පුහුණු පිරිමින් රැකියා සදහා යොමු කිරීම බවද අවධාරණය කළේය. රටේ සමාජ සංස්කෘතික පැවැත්මට කාන්තාවන්ගේ දායකත්වය වඩ වඩාත් අවශ්‍ය බැවින් කාන්තාවන් වෙනුවට පිරිමින් විදේශ රැකියා සඳහා යොමුවිය යුතු බව ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී ඩොන්ග්ලින් ලී, එම සංවිධානයේ වෘත්තීය නිපුනතා පිළිබඳ විශේෂඥ ආචාර්ය පෝල් කොමින් යන මහත් වරුන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුළු දේශිය ආයතන ගණනාවක නියොජිතයින් ද විදේශීය රටවල නියොජිතයින් රැසක් ද සහභාගී වී සිටියහ.


20110808-img_1853.jpg

20110808-img_1889.jpg



Category: Sinhala
Posted by: admin
ආචාර්ය සමන් කැලේගම මහතා විසින් සංස්කරණය කරන ලද "මයිග්‍රේෂන් රෙමිටන්ස් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඉන් සවුත් එෂියා" ( Migration , Remittance & Development in South Asia) නමැති කෘතියේ මුල් පිටපත විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමාට පිළිගැන්වීම ඊයේ (2011.08.03) කොළඔ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍යාංශයේදී සිදුවිය.

ශ්‍රමිකයන් විදේශ රැකියා සදහා යොමුවීම දකුණු ආසියාවේ රටවල් රැසක ආර්ථික සංවර්ධනයට බලපා ඇති ආකාරය, සංක්‍රමනික සේවයට අදාල දායක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ඇතුළු අංශ ගණනාවකට අවධානය යොමු කරන මෙම කෘතිය දැනට මෙම ක්ෂේත්‍රය පිළිබදව ඇති පර්යේෂණ ග්‍රන්ථ හා දත්ත හිඟය පිරවීමට දෙන දායකත්වය ඉතා වැදගත් බව මුල් කෘතිය පිළිගැනීමේ දී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


20110808-img_1798.jpg

20110808-img_1762.jpg



Category: Sinhala
Posted by: admin
දකුණු කොරියානූ රැකියාලාභීන් අමතමින් ඇමති ඩිලාන් කියයි.

දකුණු කොරියාවේ රැකියා ලබා මෙරටින් පිටව යන ශ්‍රමිකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපතිවරුන් වශයෙන් සේවය කළ යුතු බවත් ලෝකයේ විවිධ ජාතීන් අතර ගැවෙසෙමින් ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවා තැබීමේ වගකීම ලාංකික ශ්‍රමිකයින් වෙත පැවරෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළකළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බගවන්තලාව රාජ්‍ය වැවිලි සේවක පුහුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන දකුණු කොරියානූ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීහු පිරිසක් විසිරයාම වෙනුවෙන් පසුගියදා (ජූලි 31. පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. කොරියානු රැකියා සඳහා මේ දිනව රැකියා ගිවිසුම් වැඩි වශයෙන් ලැබෙන තත්ත්වය හමුවේ වැඩි ශ්‍රමිකයන් පිරිසක් කඩිනමින් රැකියා සඳහා පිටත්කර යැවීමට මෙරට තරුණයින් වැඩි වශයෙන් තෝරා ගැනීම හේතුවෙන් කොරියානු රැකියා පුහුණු කටයුතු සඳහා බගවන්තලාවේ අලූතින් ආරම්භ කරන්නට විය. බගවන්තලාව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ දෙවන කණ්ඩායම ලෙස මෙදින ඔවුහු විසිරයන්නට විය.

මෙහිදී කායික යෝග්‍යතා පුහුණු හා කොරියානූ භාෂා පුහුණු පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ තරුණයින් 195 දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම විසිරයාම වෙනුවෙන් පැවති එම උත්සව අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා වෙනුවෙන් පුහුණුලාභීන් විසින් අචාර පෙළපාලියක්ද පවත්වනු ලැබීය.

එහිදී දකුණු කොරියානූ රැකියාලාභීන් අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් ලෙස විදේශයන්හිදී ඔබ කුමන දේ කළද එය පෞද්ගලික සීමාවෙන් ඔබ්බෙහි ඇති බවද ඔබ සිදු කරන හොඳ ක්‍රියාවකදී මෙන්ම ඔබෙන් සිදුවන අතපසුවීමකදී ඔබේ නම සමඟ මව්බිමේ නම ද එකට ඈදෙන බව ද පැවසීය. තායිලන්තය, වියට්නාමය, ඉන්දියාව ආදී දකුණු කොරියාවට රැකියා සඳහා ගොස් ඇති රටවල් 15ක් අතරේ ශ්‍රී ලාංකීය සළකූණ සුරැකීම ශ්‍රමිකයින්ගේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා, ඒ මත මෙරටට හිමිවන කොරියානූ රැකියා ප්‍රමාණය තීරණය වනු ඇති බව පෙන්වාදුන්නේය. ලබන වසරේදී දකුණු කොරියානු රැකියා 15000ක් මෙරටට ලැබිමට නියමිත බව එහිදී පැවසූ අමත්‍යවරයා මෙරටට වැඩිවැඩියෙන් කොරියානු රැකියා අවස්ථා හිමිවීමට දකුණු කොරියාවේ රැකියා ස්ථානතුළ මෙරට ශ්‍රමිකයින් හොඳින් සේවය කිරීම හේතුවනු ඇති බවද පැවසිය. තමුන් රැකියාවට යන ස්ථානයේ හොඳි කටයුතු කරමින් එහි ප්‍රධානීන්ගේ විශ්වාසය දිනාගනිමින් වීනීතව, කඩසරව කාර්යක්‍ෂමය කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකික ශ්‍රීමිකයන් ගැන එරට කර්මාන්තකරුවන්ගේ පැහැදීමක්, විශ්වාසයක් දිනාගැනීම අවශ්‍ය බවත් එය තමුන්ටත් හොඳ සේවා පරිසරයක් වනවාට අමතරව අනාගතයේ වැඩිවශයෙන් අප රටේ ශ්‍රමිකයන් කොරියාවට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට එය ඉවහල් වන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා, අඹගමුව ප්‍රාදේශීය ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර, කාර්යාංශයේ බදවාගැනීම් හා පුහුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය යන මහත්වරුද සහභාගී වී සිටියහ.


20110803-img_1603.jpg

20110803-img_5173.jpg