Archives

You are currently viewing archive for August 2013
Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට සෙත්පතා ජය පිරිත්
දේශනයක් පසුගියදා හාලිඇල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මහා සංඝයා වහන්සේලා 300
නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. අමාත්‍යතුමා විසින් බෞද්ධාගමට සිදු කරන මෙහෙවර
උදෙසා හා තවදුරටත් සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට ආශිර්වාද කරමින් මෙම ජය පිරිත
පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ තමන් බෞද්ධ පවුලක හැදී වැඩුන
බවත් බෞද්ධ දර්ශනයට නිරන්තරව ගෞරව කරන්නෙකුද වන බවයි. බුදුරජාණන් වහන්සේ
වදාල ධර්මය අනුව සියලූ මනුෂ්‍යයින් එක හා සමාන බවත්, ජාතිවාදී,කුලවාදී, ආගම්වාදීව
නොසලකා සියලු දෙනාට මනුෂ්‍යයින් සේ සලකා කටයුතු කිරීම වර්තමානයේදී ඉතා වැදගත්
බවත් සඳහන් කළේය. සිංහල, හින්දු, මුස්ලිම් ජනතාවට තමන් එක හා සමානව ආදරය කරන
බවද එම නිසා බෞද්ධ සංඝයා වහන්සේලා අතිබහුතරය තමන්ගේ මෙම ප්‍රතිපත්තිය පිලිගන්නා
බවද සඳහන් කළේය. එම නිසා සංඝයා වහන්සේලා එකතු වී තමන්ට නිරන්තරව අවවාද
අනුශාසනා ලබා දෙන බවත්, ආශිර්වාද ලබා දෙන බවත් ප්‍රකාශ කලේය.
අමාත්‍යතුමාට සංඝයා වහන්සේලා ජය පිරිත් දේශනා කිරිම, අමාත්‍යවරයා විසින් මහා
සංඝරත්නයට පිරිකර පූජා කිරිම ඡායාරූපවල දැක්වේ.

20130827-screenshot-3.png

20130827-screenshot-2.png



Category: Sinhala
Posted by: admin
කාන්තාවන් විදේශ ගතකිරීම එක පාරට නතර කරන්න බෑ...
ඇමති ඩිලාන් පෙරේරා අවධාරණය කරයි.


බොහෝ මව්වරුන් විදේශ රැකියා සඳහා යොමුවන්නේ තම දූදරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත්, පවුලේ අනාගත දියුණුවට මුදල් සපයා ගැනීමටත් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්යත ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. මෙවැනි තත්වයක් තුළ කාන්තාවන් විදේශ ගත වීම එක්වරම නතර කිරීමට නොහැකි බවත්, එසේ කළහොත් ඔවුන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ඇතැම් බොහෝ දේශපාලනඥයින් කාන්තාවන් විදේශ ගත වීම එක රැයින් නතර කිරීමට බලපෑම් කළත්, විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන්ට ජනාධිපතිතුමා වගකීමක් භාරදී ඇති හෙයින් තමන් එය වගකීමෙන් හා වගවීමෙන් යුතුව ඉටු කරන බවද පැවසීය.
ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ ගත ශ්‍රමික සේවක සුභසාධන අරමුදල යටතේ (Workers welfare fund) පුද්ගලයින් 7 දෙනෙකුට රුපියල් ලක්ෂ‍ 15ක වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම අවස්ථාවේදී මරණ වන්දි ලෙස රුපියල් හයලක්ෂන පනස්දහසක් (650,000) ලබාදුන් අතර, වෛද්‍ය ආධාර ලෙස රු.120,000 ක් ලබා දී තිබේ. මෙයට අමතරව දරුදිරිය වැඩසටහනෙන් හඳුනාගත් රටවිරුවෙකුගේ පුතෙකුට ජපානයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා රුපියල් ලක්ෂස 7ක චෙක්පත භාරදීමද අමාත්‍යවරයා අතින් සිදුවිය. මෙලෙස ජපානයේ ශිෂ්යාත්වයක් සඳහා ආධාර ලබා ගත්තේ කොළඹ ඞී.එස් සේනානායක විදුහලේ නවීන් ලක්මාල් චන්ද්‍රරසේකර සිසුවායි.
විදේශ රැකියා සඳහා පිටත්වීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය. හුදෙක් එය කාර්යාංශයට මුදල් ලබා ගැනීමක්ම නොව විදේශ ගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව, රක්ෂ ණය, සුභසාධනය වෙනුවෙන් ලබා ගන්නා මුදලකි. මෙලෙස ලබා ගන්නා මුදල් වක්‍රමිකව නැවත වරක් එම ශ්‍රමිකයාටම වැඩි ප්‍රතිලාභ සහිතව ලැබේ. මෙසේ රක්ෂ ණ වන්දි ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ එලෙස ලබා ගත් මුදල් නිසා බවද ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය. එහෙත් ඇතමුන් කාර්යාංශය ලෙස රට යන ශ්‍රමිකයින්ගෙන් මුදල් ලබා ගන්නවා මිස ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකරන බව ප්‍රකාශ කළත් මෙසේ විශාල ලෙස වන්දි ලබා දෙන්නේ කෙලෙසද යන්න ඔවුන් නොදන්නා බව ඔහු කියා සිටී. ලියාපදිංචි නොවී විදේශ ගත වූ පුද්ගලයින් වෙනුවෙන්ද ඔවුන්ට යම් කරදරයක් වූ විට වන්දි ලබා දීමට තමන් උපදෙස් දී තිබෙන බවත්, එවැනි කිහිප දෙනෙකුගේ මරණ සඳහා අද දින වන්දි ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විදේශ රැකියා සඳහා පිටත්වන සියලූම දෙනා කාර්යාංශයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි වී විදේශ ගතවන ලෙස ඩිලාන් පෙරේරා මහතා ඉල්ලා සිටී.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ කාන්තාවන් විදේශ ගත වීම අවම කිරීමට පියවර ගෙන තිබෙන බවයි. පවුල් පසුබිම් වාර්ථාව අනිවාර්ය කිරීම, ජාතික වෘත්තීය නිපුණතා සහතික 3 වන මට්ටම(NVQ3) අනිවාර්ය කිරීම, අවම වයස් සීමාවක් පැනවීම ඒ අතර ප්‍රධාන වේ. කෙසේ වුවත් වෘත්තීය රැකියා සඳහා පිරිමි හා කාන්තාවන් විදේශ ගත කිරීමට පියවර ගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය.

20130824-img_6133.jpg

20130824-img_6136.jpg

20130824-img_6145.jpg



Category: Sinhala
Posted by: admin
ඇමති ඩිලාන් අවධාරණය කරයි...


ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඊශ්‍රායල් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා ඉදිරියේදී වැඩිවශයෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඩිලාන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ ඊයේ(2013/08/14) මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේදී පැවති ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගත් තරුණ තරුණියන් විසිර යාමේ උත්සවයක් අමතමිනි. මෙහි නේවාසිකව ඊශ්‍රායල් රැකියා ලාභීන් 250 දෙනෙකු පුහුණු වන අතර ඊට අමතරව මින්නේරිය යුධ හමුදා පුහුණු පාසැලේ තවත් 226 ක් පුහුණුව ලබති. රැකියා ලාභීන්ට දින 17ක් නේවාසිකව යුධ හමුදා නිළධාරීන් විසින් පුහුණුව ලබා දේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ”මීට පෙර ඊශ්‍රායල් රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් නීති විරෝධීව වීසා බලපත් රහිතව එරට රැදී සිටීම හේතුවෙන් ගැටළු ඇතිවී තිබෙනවා. එනිසා අපට ලැබෙන රැකියා ප්‍රමාණයේ යම් කිසි අඩුවක් වෙන්න පුළුවන්. ඒත් මම එරට රජය සමග සාකච්ඡා කර එම ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරනවා. ඒක නිසා මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායල් රැකියා සඳහා ගිය පසු එහිදී අපේ රටේ අභිමානය රැකගෙන කටයුතු කරන්න කියලා.

රටවිරුවන් වන ඔබ විදේශයකදී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් විදිහටයි වැඩ කරන්න ඕනේ. ඊශ්‍රායල් රැකියා ලැබෙන්නේ මාස 06කට පමණයි. හොඳින් වැඩ කළොත් තවත් මාස 06ක් හෝ අවුරුද්දක් එරට සේවය කරන්න පුළුවන්. මහන්සි වී වැඩ කලොත් මාසයකට රුපියල් ලක්‍ෂ එක හමාරක් දෙකක් අතර වැටුපක් ලබා ගන්න පුළුවන්. ඔබට එහේ හොඳින් වැඩ කරන්න යුධ හමුදාව ලබාදුන් මේ පුහුණුව ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.”

ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගත් මෙම තරුණ පිරිසට හීබෲ භාෂාව, දුෂ්කර පරිසරයකදී වැඩ කිරීමට ශාරීරික හා මානසික යෝග්‍යතාව ඇති කිරීම හා යුධ හමුදා අභ්‍යාස පුහුණුවද ලබා දේ. මේ නිසා ඊශ්‍රායල් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා හොඳින් පුහුණුවලත් ශ්‍රමිකයින් යොමු කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඊශ්‍රායල් රැකියා සඳහා යොමු කරන ශ්‍රමිකයින් පුහුණු කිරීම සඳහා යුධ හමුදා පුහුණු පාසල් පමණක් යොදා ගැනේ.
ඉදිරිය්දී මෙම පුහුණුව අනෙකුත් දිස්ති‍්‍රක්කවල පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා,
”ඊශ්‍රායල් රැකියා ලබා දීමේදී කිසිඳු දේශපාලන අතපෙවීමක් වෙන්නේ නෑ. ස්වාධීනව හා විනිවිදභාවයෙන් යුතුව ඔවුන් තෝරා ගන්නවා. දක්‍ෂ අයට හා සුදුසුකම් ඇති අයට පමණක් ඊශ්‍රායල් රැකියා ලැබෙනවා. ඒ වගේම ඊශ්‍රායල් රැකියා සඳහා යොමු කිරීමට ඇතැම් පිරිස් මුදල් වංචා කරන බැවින් එවැනි පිරිස් වලට හසු නොවන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි දෙයක් වාර්ථා වුනොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වන්න. ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට බලය තියෙන්නේ මගේ අමාත්‍යංශය යටතේ තියෙන ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගමටයි.”

මාදුරුඔය හා මින්නේරිය යුධ හමුදා පාසල්වල පුහුණුව ලබන පිරිස සඳහා යුධ හමුදාව විසින් ලබා දෙන පුහුණුව හා සහය ඉතා අගය කරන බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේ උසස් නිළධාරීන් රැසක් හා ඊශ්‍රායල් රැකියා ලාභීන්ද එක්වී සිටියහ.

20130817-israel1.jpg

20130817-israel2.jpg


Category: Sinhala
Posted by: admin
- ඇමැති ඩිලාන් පෙරේරා


පිටරටින් ගෙන්වන පිටි කිරිවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු වීම නිසා විවිධ රෝගාබාධ ඇති වන බව සෞඛ්‍ය අංශ පැවසීම නිසා විෂ කිරි වෙනුවට දේශීය දියර කිරි සඳහා විශාල ඉල්ලූමක්‌ නිර්මාණය වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

එම නිසා දේශීය දියර කිරි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ වහාම සැකසිය යුතුව ඇතැයි ඇමැතිවරයා බදුල්ල ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා උපකරණ බෙදාදීමේ අවස්‌ථාවකට එක්‌වෙමින් කියා සිටියේය.

කිරි කර්මාන්තය ගැන කතා කරන කොට හරක්‌ ගැන කතා කරන්න වෙනවා. විවිධ හරක්‌ ඉන්නවා. ළඟදී මටත් භික්‌ෂූන් වහන්සේ නමක්‌ විවිධ සතුන්ගේ නම් කියලා ආශිර්වාද කළා. භික්‌ෂූන් බනින්නේ නෑනේ. ආශිර්වාද කරන එක කරන්නේ. මටත් ආශිර්වාද කළා. මම ඉතින් සතුන්ගේ නම් කියපු ඒ හාමුදුරුවන්ට සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා කියනවා. විවිධ වර්ගයේ හරක්‌ ගැන කතා කරනකොට ඒ හැම හරකම අපිට ප්‍රයෝජනයි. එළදෙන ගෙන් කිරි ගන්න පිරිමි ගවයින් ප්‍රයෝජනයි. කාලයක්‌ යන කොට පිරිමි ගවයගෙන් ගන්න තියෙන ප්‍රයෝජන අඩු වෙනවා. වයසට යනකොට ගවයා බරක්‌ වෙනවා. ඒත් කිරි ගොවියා ඒ හරකා මරන්නේ නෑ. මම හැම සතාම මරණවට විරුද්ධයි.

විෂ කිරි ගැන මේ කාලෙ කතා කරන කොට දියර කිරි ගොවියා අපට වැදගත්. මේ කිරි ගොවියා තමයි ගවයො බලාගන්නේ. කිරි ගොවියාට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ තමයි වයසක හරක්‌ට මොකද කරන්නේ කියන එක. හරක්‌ මරනවට ගිනි තියා ගත්ත අය. විවිධ සංවිධාන හිතන්නේ නෑ. මේ වයසක හරක්‌ට මොකද කරන්නේ. ඒ නිසා කිරි ගොවියාට ඇතිවන ප්‍රශ්න ගැන. මෙය කිරි ගොවියාට මහා බරක්‌. විෂ කිරි වෙනුවට පිරිසිදු දියර කිරි සපයන කිරි ගොවියාගේ පැත්තෙන් බලන්න ඕනේ. ඒත් අර වයසක හරක්‌ මරන්න බෑ. මොකද හරක්‌ වෙනුවෙන් මිනිස්‌සු ගිනි තියා ගන්නවා. එතකොට අර වයසක හරක්‌ගේ වගකීම මොන සේනාවද ගන්නේ. හරක බලා ගන්න කවුරුත් නෑ. ඒකට එන්නේ මොන හරකද. ඒකයි ඇත්ත. මම ඇත්ත කියන්න ගිහින් සතුන්ගේ නම් වලින් පිදුම් ලැබුවා. මේක මෙතනින් නවත්තන්න ඕනෑ. දැන් කියයි ඩිලාන් හරක්‌ මරනවට කැමතියි කියලා. මම කියන්නේ හරක්‌ කුකුළන් විතරක්‌ නෙවෙයි මදුරුවෝ මරණ එකත් පාප කර්මයක්‌. මම නම් හැම සතාම මරණවට විරුද්ධයි. දැන් මම කිව්ව එක මාධ්‍යවල යනකොට මට සත්තුවත්තේ ඉතිරි සතුන්ගේ නම් කියලා බනියි. එහෙම බැන්නත් කිරි ගොවියගේ මේ ප්‍රශ්න දැන් කතා කරන්න කාලය හරි.

විදේශ රැකියාවල නිරත වී යළි මවුබිමට පැමිණි අය සඳහා කිරි නිෂ්පාදන කර්මාන්තය හඳුන්වා දීමටත් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කිරි ගොවි සංවිධාන රටවිරු සංවිධාන සමගද එක්‌වීමේ වැදගත්කමද පැහැදිලි කළේය. විදේශ විනිමය වැඩි ප්‍රමාණයක්‌ රටකිරි සඳහා ගෙවනවා වෙනුවට දේශීය කිරි ගොවියාට ගෙවීමේ වැදගත්කම හා දේශීය නිෂ්පාදකයා දියුණු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.


Category: Sinhala
Posted by: admin
(වෛරයෙන් වෛරය නොසන්සිඳේ)

මම බෞද්ධයෙක්මී. මම ඒ ගැන අභිමානවත්ව, නිහතමානීව සතුටු වෙමි. මගේ ඒ අභිමානයටත් සතුටටත් හේතුවක් තිබේ. ඒ අප මහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සම්බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කරගත් ධර්මයක් වන බැවිනි. මෙලොව පරලොව දෙකටම මග කියන මා දත් දහම බුදු දහම වන බැවිනි.
බුදු දහම ගිහියෙක් වූ මට ජීවන මග කියා දුන්, කියාදෙන දහමකි. බුදුදහම නිසා මම නිවුනේ වුනෙමි. බොහෝවිට තවමත් කිපෙන සුඵ මම හැකි හැමවිටෙක පරුෂ වචන, වෛරයේ භාෂාව වෙනුවට දයාවත් කරුණාවත් මෛත්‍රියත් පතුරන්නට උත්සාහ ගනිමි. ඒ සඳහා මම බදු දහමින් ආභාෂය ලබන්නෙමි. ඒ සඳහා මට මග කියා දුන්නේ මා ළමා කාලයේදී ලද දහම් පාසල් අධ්‍යාපනයයි.
මා දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ මුලින්ම මොරටුව එගොඩ උයන ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලෙනි. දැනට වසර සීයයක් ඉක්ම වූ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ආරම්භ කරන ලද්දේ මාගේ මවගේ පියා විසිනි. මා දෙවනුව දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ වජිරාරාමයෙනි. වජිරාරාමවාසී නාරද ස්වාමීන්වහන්සේ අපගේ ගුරුවරයානෝ වූහ. උන්වහන්සේගේ සිල්වත් බවත් සංවරශීලි මෛත්‍රිය පතුරවන වචනත් අප වෙනස්ම මිනිසුන් පිරිසක් කළ සේක.
මේ ඉතිහාස කතා මා ගෙන හැර දක්වන්නේ ආසන්නම දිනෙක වෛරී භාෂාව පතුරවන සිදුවීමක් මා දුටු නිසාවෙනි.
මම බෞද්ධයෙකු වන නිසාම බෞද්ධ නොවන සියල්ලන්ටමත් මෛත්‍රී කළෙමි. වෛරයේ ප්‍රතිඵලය ලෙස 30 වසරක් පුරා උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක මිනිස් ජීවිත විනාශ වූ සැටි මම දුටුවෙමි. ඒ ජීවිත අතර සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් භක්තිකයෝද වූහ. වෛරය වැපිරූ පසු අස්වැන්න වන්නේ විනාශයයි. ඒ සත්‍යය යථාර්තයක් සේ අත්දුටු සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයෙක් ලෙස මම ජාතීන් අතර වෛරය පැතිරෙනවාට එරෙහි වෙමි. විරුද්ධ වෙමි.
එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වෙනුවට මාව නුරුස්නා එක් භික්ෂුවක් දැන් මා වෙත වෛරයෙන් ප්‍රකෝපව වචන වලින් දමා ගසමින් සිටී.
මෙම වෛරී භාෂාව ඇසුණු මාගේ මතකය යොමු වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වසල සූත්‍රය වෙතටයි. සැවැත්නුවර අනේපිඩු සිටිතුමන් විසින් සසුනට පරිත්‍යාග කළ දෙව්රම් වෙහෙරෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් සිටිනා සමයක සිය නිවසෙහි ගිනි දල්වා ,අග්නිහෝමය, කරමින් සිටි අග්ගික භාරද්වාජ බමුණු නිවසට පිඩුසිඟා වැඩි සේක. බමුණා භාග්‍යවතුන් වහන්සේට වසලයා, මුඩු මහණා, නීච මහණා.... ආදී පරුෂ වෛරී භාෂාවෙන් දමා ගැසීය. කෝප නොවු බුදුරජාණන් වහන්සේ බමුණාට වසලයෙකු වන කරුණු පහදා දුන් සේක.

"න ජච්චා වසලෝ හොති - න ජච්චා හොති බ්‍රාහ්මණො"
"කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො"


"යමෙක් තමන් උපන් ජාතිය හේතුකොට ගෙන වසලයෙක් නොවේ. බ්‍රාහ්මණයෙක්ද නොවේ. ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වේ.”

මම මේ බුදු දහම විශ්වාස කරමි. මගේ ජීවිත කාලයේ පුරා බොහෝ භික්ෂුන් වහන්සේ ඇසුරු කර ඇත්තෙමි. වෙනත් ආගමික යතිවරයන්ද මම ඇසුරු කර ඇත්තෙමි. ඒ සෑම කෙනෙකුගෙන්ම මා උගත්තේ මෛත්‍රීය, කරුණාව සහ සමානාත්මතාවයයි. මම ඒවා අගය කරමි. ආරක්ෂා කරමි.
ඒ නිසාම බොදු බල සේනා ලෙස නම් කර ගනිමින් අහිංසක සිංහල බෞද්ධ ජනයා විනාශයේ ආගාධය වෙත ගෙන යන ව්‍යාපාරයක භික්ෂුවක් ආක්‍රෝෂ, පරිභව පරුෂ වචනයෙන් වෛරය පතුරවමින් කතා කිරීම මට නම් විමතිය දනවන සිදුවීමකි. මා දන්නා ආකාරයට වචනය සංවර කරගත්, කෝටියක් සංවර ශීලය රකිනා උපසපන් භික්ෂූන් වහන්සේ මෙවැනි භාෂාවක් භාවිතා කිරීම විමතියකි. ශෝකය දනවන්නකි.

එසේම බොදු බල සේනා ව්‍යාපාරයේ තේමා ගීතය වන .......

"ඝෝර මරසෙන් රැුගෙන බල සෙන්
යලිත් ඇවිදින් පෙරහැරේ
මාර බල බිඳි බුදු පියාණෙනි
ඔබ දෙසු ධර්මය අනතුරේ"


පදවැල් කිහිපය මෙන්ම එහිම එන ..........

"නව යුගයේ නෙක බුදුවරු පහළව
ගෞතම බුදුරුව කඵවරේ.....”

යන වදන් වැල්ද යලි යලිත් අපට සිහිපත් කරන්නේ බෞද්ධ වේශයෙන් එන මේ අබෞද්ධ විනාශකාරී බලවේග පිළිබඳව යැයි මම විශ්වාස කරමි.
මම මේ වෛරයට පෙරළා වෛර නොකරමි. එමෙන්ම ජාතීන් අතර සහයෝගීතාවත් මිනිස්කමත් වෙනුවෙන් මා දරණ ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකරමි. මා වෙත එල්ල වන වෛරය පිරි සියඵ අවලාද, අපහාස අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත දමමි. මම දැන උගත් බුදු දහම අනුව යමින් වෛරය පතුරන්නන්ට මෛත්‍රී කරමි.
ඒ අතරම ජාතිවාදීන් නොවන, යුදවාදීන් නොවන, අන්තවාදීන් නොවන අපේ රට අලූත් යුද්ධයක් කරා ඇද වැටෙනවා දකින්නට අකමැති බහුතරයක් ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් වෙත විවෘත ආරාධනයක් කරනු කැමැත්තෙමි.
අපි ගෙවූ භීෂණකාරී, විනාශකාරී අතීතය අපේ දූ පුතුන්ටත් අනාගත ශ්‍රී ලංකාවටත් අත්විඳිමට ඉඩ නොදෙමු. මේ මොහොත අප ලද ජයග්‍රහණය ආපසු හරවන, රට විනාශය කරා ගෙනයන ජාත්‍යන්තර මෙන්ම දේශීය සතුරන්ගෙත් අවස්ථාව නොකරමු.
ජනතාව බෙදා විනාශ කරමින්, ජනතාව එකිනෙකා අතර වෛරී කොටස් බවට පත් කරන සියළු ආකාරයේ විනාශකාරීන්ට සාමකාමීව එරෙහි වෙමු. ඒ සඳහා අප එකිනෙකාගේ අත් අතනොහැර අත්වැල් ගෙන එක්වෙමු.

"නහී වේරේන වේරානී සම්මන්තීධ කුද්‍රාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො"


"මෙලොව කවර කලෙකවත් වෛර කිරීමෙන් වෛරය නොසන්සිඳේ. වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙනි. අවෛරයෙන් වෛරය සන්සිඳෙන බව පෞරාණික ධර්මයයි. එය බුද්ධාදී උතුමන් ගිය මගයි.”

ඒ උතුම් මග අනුව යමින්ම ,කැලෑ සතා, වනචරයා........, ආදී වෛරී පරුෂ වචනයෙන් මට දෙස් දෙවොල් තබන බොදු බල සේනා භික්ෂුව ඇතුඵ සියල්ලන්ටම සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, යනුවෙන් මෛත්‍රී කරමි.

තෙරුවන් සරණයි!



ඩිලාන් පෙරේරා
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය



Category: Sinhala
Posted by: admin
අමාත්‍ය ඩිලාන් පෙරේරා


ආගමට මුවාවී වීරයෙක් ලෙස චරිත ගොඩනංවා ගන්නවා වෙනුවට, ජාතිවාදියෙක් නොවී පිස්සෙක් වෙන එක හොඳ බව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් කිසිම මොහොතක ජාතිවාදියෙක් නොවන බවත් කවුරු කෙලෙස කීවද තමන් එදා සිටි ප්‍රතිපත්තියේම සිට මානුෂවාදියෙක් ලෙස කටයුතු කරන බවත් පැවැසූ ඇමැතිවරයා ආගමට මුවාවී බලසේනා පිහිටුවාගෙන ඇතැමුන් රට ගිනි තියන බවත් සඳහන් කරයි.
හාලිඇළ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේය.
‘රටේ නැවැත යුද්ධයක් ඇති කරන්න මේ බළසේනා නම් අවජාත සංවිධාන උත්සාහ දරනවා. ඒ අය එහෙම කරන කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාතීන් වෙනුවෙන් හඬනඟනවා. මේවා ඉවසන්න බැරි බළසේනා සංවිධාන ඩිලාන්ට පිස්සු යැයි කියනවා.
ජාතිවාදී ගිනි අවුලා රට ආපස්සට ගන්නවාට වඩා හොඳයි පිස්සෙක් වෙන එක. ජාතිවාදයෙන් හෝ ආගම්වාදයෙන් වීරයෙක් වෙන්න මට ඕනෑ නෑ. පසුගිය කාලයේ හලාල් භීතිකාවක් ඇති කළා. ඒකෙන් වුණේ මුස්ලිම් සහෝදරත්වය තවත් ශක්තිමත් වීමයි. මුස්ලිම්වරු කවදත් සිංහල අය සමඟ සහෝදරත්වයෙන් ඉන්නවා. හාලිඇළ කවදත් ආගම්වාදයෙන් විනාශ කරන්න බෑ කාටවත්. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. එහෙම කරන්න බළසේනා හාලිඇළට ආවොත් එදාට මෙහේ මිනිසුන්ගේ තරම පෙන්නනවා.
එහෙන් මෙහෙන් අටවගන්න පිරිසකට රට අනතුරේ හෙළන්න ඉඩ දෙන්නේ නැහැ. අන්තිමට පැත්තවත් නැතිªව තමයි යන්න වෙන්නේ. නිර්මල බුදු දහමට නිගා කරන මේ අන්තවාදී ත්‍රස්තවාදීන් අපි හඳුනා ගන්න ඕන. ඒ අය තමයි නැවැත රට යුද්ධයකට ගෙනයන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කරන්න කිව්වෙත් නැහැ. බුදුන්ගේ කාලේ ජීවත් වුණු අපේ හාමුදුරුවරුන් හරිම බුද්ධිමත්. කවදාවත් ශ්‍රාවකයන් තමන්ගේ වුවමනාවලට යොදා ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ හැම ආගමකටම ගරු කරලා කාටවත් හිංසාවක් කෙළේ නෑ. ඒකට අද කාලේ බළසේනා කරන්නෙම හිංසා. මස්කඩ ළඟ නවත්වලා තියෙන ලොරි පුච්චනවා, ඒ කඩ කඩනවා, වෙන අයට ආගමික දේශනා පවත්වන්න දෙන්නේ නෑ. මේ කරන්නේ බුදු දහමට නිගාවක්. අහිංසාවාදී බුදුදහම අද බළසේනාකාරයෝ විකෘති කරලා.
කරුණාරත්න අබේසේකර රචනා කළ ආර්. ඒ. රොක්සාමි සංගීතය සැපයූ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය කවුද ගායනා කරන්නේ. මොහිදින් බෙග්. අපේ ජාතික සංගීතඥයා. බලන්න බෞද්ධ හින්දු – මුස්ලිම් එකතුවකින් රටම ආදරය කරන ගීතයක් නිර්මාණය වූ හැටි. අන්න ඒවයි නියම බොදු බල සේනා. ඒ අය රටටම වැඩ කළා. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා සමුළුවේදී ලංකාවට එරෙහිව නැඟී සිටින විට අපිත් එක්ක සහායට ආවේ මැදපෙරදිග මුස්ලිම් රටවල්. අපිට මේවා අමතක කරන්න බැහැ. ලංකාවට වැඩිම ආදායම එන්නේ මැදපෙරදිග රටවල සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ගෙන්.
ඇයි එහෙම නම් මුස්ලිම් විරෝධයක් මේ රට තුළ ඇති කරන්න දඟලන්නේ. මේකට තමයි කුහකත්වය කියන්නේ. බෞද්ධාගම අන්තවාදීව යොදා ගෙන ජාතික වීරයෝ වෙන්න දඟලන්නේ නැතිව අපි ලාංකිකයන් විදියට හිතලා වැඩ කරන්නයි ඔය ජාතිවාදී බළසේනාවලට කියනවා.
මුස්ලිම් රටවලින් අපට ලැබෙන තෙල්වලින් තමයි ඊනියා බළසේනාවල උදවිය සැප කාර්වල යන්නේ. ඒ තෙල් හලාල්? කියලා බැලුවද? මැදපෙරදිග තෙල් ගහලා යන්නේ නැතුව පයින් යන්න. ඒකයි අපි කියන්නේ මේ ජාතිවාදී උන්මත්තකයන්ට ජනතාව කවදාවත් රැවටෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ මේ බළසේනා රජ සැප විඳින එක විතරයි. ඔවුන් ජනතාව මුළා කරනවා’ යයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

උපුටා ගැනීම: www.mawbima.lk

Category: Sinhala
Posted by: admin
- අමාත්‍ය ඩිලාන් පෙරේරා


ලබන වසර වන විට මෙරටින් විදේශගත වන පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව සියයට 57ක් සහ කාන්තා ශ්‍රමිකයන් සංඛ්‍යාව සියයට 43ක් වනු ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ගෘහ සේවය සඳහා මෙරට කාන්තාවන් විදේශගත කරවීම නීත්‍යානුකුලව තහනම් නොකළත් ඒ වෙනුවට පිරිමි ශ්‍රමිකයන් වැඩිපුර විදේශගත වීම තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ගෙන් දැනට වාර්ෂිකව මෙරට ආර්ථිකයට එක්වන ඇමෙරිකන් ඩොලර් බිලියන 6 ඉක්මවන ආදායමක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම: www.rivira.lk



Category: Sinhala
Posted by: admin
- විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා


මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට යන මෙරට කාන්තාවන්ට අත්විඳින්නට සිදුවන බොහෝ පීඩාවන් පිළිබඳව මෑතක සිට නිරන්තරයෙන් අසන්නට ලැබේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය මේ වනවිට මේ තත්ත්වය පිටු දැකීමේ ක්‍රියාමාර්ග රැසක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. එහි මූලික පියවරක්‌ ලෙස මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටත්කර හැරීමේ යම් සීමාවක්‌ පනවන්නට කටයුතු යොදාගෙන යයි.

එය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් වචනයෙන්ම කිවහොත් "ගෘහ සේවිකාවන් තහනම් නොකොට තහනම් කිරීමේ" ක්‍රියාවලියකි.

ගෘහ සේවිකාවන් ගෘහ පාලිකාවන් ලෙස උසස්‌ කෙරේ

අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊට අර්ථ සපයන්නේ මෙසේය.

"කවුරුහරි අහන්න පුළුවන් මොකක්‌ද මේ පිස්‌සු කතාව කියලා. මේ වෙනකොට මැදපෙරදිග රටවල යන ගෘහ සේවිකාවන් සඳහා අපි අලුත් නීතියක්‌ ගෙනල්ලා තියෙනවා. ඒ තමයි ජාතික වෘත්තිය නිපුණතා තැන්වැනි ශ්‍රේණිය පාඨමාලාව හදාරා එය සමත් වුනොත් විතරයි මීට පස්සේ ගෘහ සේවිකාවක්‌ ලෙස යා හැක්කේ. එන්.වී.කිවු. සහතික හිමි අයෙක්‌ ගෘහ සේවිකාවක්‌ ලෙස හැඳින්වෙන්නේ නැත. එවිට ඔවුන් හඳුන්වන්නේ ගෘහ පාලිකා සහායකවරියන් ලෙසයි. අන්න ඒ නිසයි මම කිව්වේ තහනම් නොකොට තහනම් කරනවා කියලා".

මෙහිදී මේ කාන්තාවන් වෘත්තිමය නිපුනතාවන්ගේ විදෙස්‌ගත වන්නේ ගෞරවනීය බවක්‌ හිමිකර ගනිමිනි. එය වරප්‍රසාද ගණනාවක්‌ හිමිකර දෙන්නකි. ගෘහ පාලිකා සහායකවරියන්ට වැඩි වැටුප්, ඒ ඒ රටවලට හිමි වරප්‍රසාද, ලැබෙනවා සේම ඒ රටවල පවතින සමාජ ආරක්‍ෂතා ක්‍රමවලට ඔවුන් අන්තර්ග්‍රහණය වේ. පිලිපීනය වැනි රටවල කාන්තා ශ්‍රමිකයන්ට වැඩි වරප්‍රසාද මැදපෙරදිග රටවලදී ලැබෙන බවට බොහෝ දෙනෙක්‌ නගන පැනයකි. ඊට හේතුව වී තිබුණේද, පිලිපීන කාන්තාවන් බොහොමයක්‌ ඉහත කී පාඨමාලාව සමත්ව මැදපෙරදිග රටවලට පැමිණීමයි. එහෙයින්, එම පැනයටද මේ ක්‍රියාවලියෙන් පිළිතුරු ලැබේ.

අමාත්‍ය ඩිලාන් පෙරේරා අමාත්‍යාංශයේ වැඩබාරගත් මුල් දිනවලම කළ වැදගත් කාර්යයක්‌ වූයේ ගෘහ සේවය සඳහා පිටත්ව යැමේ අවම වයස්‌ සීමාව අවුරුදු 21 දක්‌වා ගෙන ඒමය. ඒ නිසාම බොහෝ විට වංචනික ලෙස සකස්‌කරන ලද ගමන් බලපත්‍රයකින් වුව විදෙස්‌ ගතවන්නියකගේ සාමාන්‍ය වයස 18 පිරී තිබීම ඉබේම සිදුව තිබේ.

දැන් මම ඒක තවදුරටත් ඉදිරියට ගෙනල්ලා, සෞදි අරාබියාවට පිටත්ව යන කාන්තාවන්ගේ වයස්‌ සීමාව අවුරුදු 25 දක්‌වාත්, මැදපෙරදිග වෙනත් රටවලට යන කාන්තාවන්ගේ වයස අවුරුදු 23 දක්‌වා වැඩිකර තිබෙනවා. ඒ නිසා හොර පාස්‌පෝට්‌ හදාගෙන ගියත් "බාලවයස්‌කාරයන්" රට යනඑක නතර වෙලා තියෙනවායි. අමාත්‍යවරයා පවසන්නේය.

විදේශ රැකියා බලපත්‍රයෙන් රට යැවිය හැක්කේ කාවද?

විදේශ රැකියා බලපත්‍ර හිමියන් බොහෝ දෙනෙක්‌ තුළ ඇති වැරැදි ආකල්පයක්‌ වන්නේ එම බලපත්‍රය ලබා දෙන්නේ ගෘහ සේවිකාවන් විදෙස්‌ගත කිරීම සඳහාය යන්නයි. එහෙත් එය වැරදි බවද අමාත්‍යවරයා කියන්නේය.

"අපි දෙන්නේ පිටරට රස්‌සාවල් සඳහා මිනිස්‌සු අරින්න බලපත්‍රයක්‌. මේ වැරැදි ආකල්පය වෙනස්‌ කරන්න මම ගෘහ සේවිකාවන් යෑවීමට කෝටා ක්‍රමයක්‌ ඇති කළා. අපි මේ විදෙස්‌ රැකියා නියෝජිතයන්වත් "තරු" අනුව ශ්‍රේණිගත කරලයි තියෙන්නේ. ඒ ශ්‍රේණිගත කිරීම අනුවයි කෝටා ප්‍රමාණය ලැබෙන්නේ. ඒ අනුව දැන් ඔවුන්ට තමන්ට කැමැති ප්‍රමාණයක්‌ අරින්න බෑ. එතකොට ඒ සීමාවට යටත්ව ඔවුන් තවදුරටත් විදෙස්‌ගත කරන්න උත්සාහ දරන්නේ ගෘහ සේවිකාවන් පමණක්‌ම නොවෙයි. වෙනත් රැකියා ක්‍ෂේත්‍රවල අයයි. අපිට අවශ්‍ය කරන්නෙත් ඒකමයි. එතකොට හොඳ පුහුණු ශ්‍රමිකයන්ට විදෙස්‌ගත වීමේ ඉඩකඩ ලැබෙනවා. ප්‍රමාණාත්මක බව නොවෙයි වැදගත් ගුණාත්මක බවයි. එහෙම වෙනකොට ලැබෙන ප්‍රතිලාභය වැඩියි. අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් වැඩියි.

ගෘහ සේවිකාවන් විදෙස්‌ගත වීම අඩුනිසා රටට ලැබෙන ආදායම අඩුවෙලාද?

මෙය බොහෝ දෙනෙක්‌ තුළ තිබෙන තවත් වැරැදි මතයක්‌ බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පෙන්වා දෙයි. "ගෘහ සේවිකාවන්ගෙන් පමණක්‌ නොවෙයි රටට ආදායම ආවේ, පිටරට රැකියා සඳහා පිටත්ව යන හැමෝගෙන්මයි. පසුගිය කාලයේ අප ගෙනගිය වැඩ පිළිවෙල සාර්ථක බව අපිට සංඛ්‍යා ලේඛන වලින් පේනවා. 2012 ජනවාරි සිට ජූලි දක්‌වා ගත්තොත්, විදෙස්‌ගත වූ ප්‍රමාණය 2013 ජනවාරි - ජූලි සමඟ සංසන්දනය කළොත්, පුරුෂ පක්‍ෂයද ඇතුළත්ව, පිටරට ගිය ප්‍රමාණය 13,000 කින් වැඩිවෙලා. ඒ කියන්නේ විදේශ විනිමය ගලා ඒමේ වැඩිවීමකුත් තියෙනවා. මේ සමස්‌ත ප්‍රමාණය ඇතුළේ ගෘහ සේවිකාවන් සඳහා ගිය ප්‍රමාණය එම වර්ෂවල 5000 කින් අඩුවෙලා. නමුත් සමස්‌ත ප්‍රමාණයේ අඩුවීමකුත් වෙලා නෑ. ගෘහ සේවිකාවන් සඳහා නොවන කාන්තාවන් එම වර්ෂවලටම සන්සන්දනය කර බැලුවොත් 1600 කින් වැඩිවෙලා. මේක අපි ලබපු ජයග්‍රහණයක්‌. ඒ කියන්නේ අපි යන පාර, අපි ක්‍රියාත්මක කරන දේ සාර්ථකයි.

පිරිමින්ට කොරියාව විතරද?

කොරියාව පිළිබඳව වර්තමානයේ බොහෝ සෙයින් කතාබහට ලක්‌වුවද, මෙරට ශ්‍රමිකයන්, වෘත්තිකයන් වැඩි වශයෙන් ගිය රට හැටියට හැඳින්වෙන්නේ කොරියාව නොවේ.

මැද පෙරදිග රටවල් ඒ අතර ප්‍රමුඛතාව ගනී. එහෙත් කොරියාව පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවන්නේ මැද පෙරදිගට සාපේක්‍ෂව කොරියාවේ වැඩි වැටුප් හා අර්බුද අවම වීමය. ඩිලාන් පෙරේරා ඇමැතිවරයා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය බාරගත් පසු කොරියාව ගැන විශේෂ අවධානයක්‌ යොමු කරන්නේය. ඒ නිසාම ඉතිහාසයේ ප්‍රථම වරට ලෝකයේ වෙනත් රටවල් සියල්ල අභිභවමින් කොරියානු භාෂා විභාගයෙන් 2011 වර්ෂයේ දී 2998 දෙනකු කොරියානු විභාගයෙන් සමත් කරවීමට අපට හැකියාව ලැබිණි. කොරියාවට ශ්‍රමිකයන් යවනු ලබන රටවල් 20 ක්‌ පමණ වේ. හැම වර්ෂයකම කාර්යක්‍ෂමතාව, විනිවිධභාවය, පළපුරුද්ද යන කරුණු මත පදනම්ව කොරියානු රජයෙන් එම රටවල් 20 න් එක්‌ රටක්‌ තෝරා සම්මාන හා ත්‍යාග පිරිනැමීම සිදුකරයි. ගෙවුණු වසර දෙකෙන්ම එම ත්‍යාගය හිමිකර ගැනීමේ අවස්‌ථාව ලැබුණේ ශ්‍රී ලංකාවටය.

කොරියානු රජය සමඟ අප මේ කටයුත්ත කරගෙන යන්නේ E9 කියන වීසා ක්‍රමය යටතේ. ඒ කියන්නේ කොරියාවේ යම් සමාගමකින් අවශ්‍යතා සුදුසුකම් මත තෝරා ගනු ලබන පිරිසක්‌ අපි මෙරට දී පුහුණු කර වසර දෙකක්‌ තුළ ඒ රටට යෑවීමයි. ඊට අමතරව ,E10, වීසා ක්‍රමයත් අපිට ධීවර ක්‍ෂේත්‍රය සඳහාත් වෙනත් ක්‍ෂේත්‍ර සඳහාත් ලබාගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ දිනවල කොරියාව සමඟ සාකච්ඡා කරගෙන යනවා. අපි ඉතාලිය සමඟ කළ සාකච්ඡාවකින් පසු ඇතිකරගත් ගිවිසුමක්‌ අනුව අපිට රැකියා අවස්‌ථා 520 ක්‌ ලැබුණා. ඒ 520 ට ඉතාලි භාෂාව පවා පුහුණු කළා. ඉතාලියේ, වෙනීසියේ හෝටල් ක්‍ෂේත්‍රයේ හා වැඩිහිටියන් රැකබලා ගැනීමේ රැකියා අවස්‌ථා ඒ අයට ලැබෙනවා. අපි එතැනින් නැවතිලා නෑ..... "ෂී ෂෙල්ස්‌" රට සමඟ අතිගරු ජනාධිපතිතුමා කළ සාකච්ඡාවක්‌ අනුව ඒ රටටත් ශ්‍රමිකයන් පිටත්කර හරින්න අපි කටයුතු සකස්‌කරගෙන යනවා. ගුරුවරුන්, නීතිවේදීන් සහ වෙනත් රැකියා අවස්‌ථා සඳහාත් ෂී ෂෙල්ස්‌ රටේ අපට රැකියා අවස්‌ථා තියෙනවා. මුරුසිය, හොංකොන් වැනි රටවල් සමඟත් අපි සාකච්ඡා කරගෙන යනවා". අමාත්‍ය ඩිලාන් පෙරේරා කියන්නේය.

අම්මලා රට ගියාම දරුවන්ට මොකද? වෙන්නේ

රට තුළ වාර්තාවන ළමා අපයෝජන ළමා හිංසනයන් ආදිය ගැන කතා කරනවිට එම සිදුවීම් මාලාවන්ට පාදක බොහෝ පවුල්වල මව විදෙස්‌ගතව සිටීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. එහෙයින්ම ඒ ගැන අවධානය යොමු කළ යුතු යෑයි බොහෝ සමාජ සංවිධාන හඬ නගන්නේය. විශේෂයෙන් අවුරුදු පහට අඩු ළමයින් සිටින මවුපියන් විදෙස්‌ගත වීම වැළැක්‌විය යුතු යෑයිද කියෑවේ. ඊට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා පවසන්නේ මෙවැන්නකි.

අවුරුදු පහට අඩු ළමයි ඉන්න අම්මලාට රට යන්න බෑ කියන චක්‍රලේඛය මේ අමාත්‍යාංශයෙන් නිකුත් කරලා අවුරුදු ගණනාවකටත් වැඩියි. ඇත්තටම මේච්චරකල් අපි කරලා තියෙන වැරැද්ද තමයි අවුරුදු පහට අඩු ළමයි ඉන්නවද? නැද්ද? කියන එක. අපි තීන්දු කරලා තියෙන්නේ අම්මලාගෙන් අහලා. ඇත්තටම අම්මලා එහෙම බොරු කියලා යන්නේ දරුවට තියෙන අනාදරයට නොවෙයි. පසුගිය දිනවල ඉඳලා අපි ක්‍රියාත්මක කළා වැඩ පිළිවෙළක්‌, මීට පස්‌සේ අපි පිටරට යන්න ඉන්න කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තාවක්‌ ගන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා.

"රට විරුවන්" කවුද? වැදගත්කම මොකක්‌ද?

"රටවිරුවන්" යනු අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරන පිරිසකි. මුල් යුගයේ ශ්‍රී ලංකා භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවුනු ආරක්‍ෂක නිලධාරීන් හැඳින්වූයේ, අදාළ හමුදා ඛණ්‌ඩයේ සොල්දාදුවෙක්‌ ලෙසිනි. එහෙත් අතිගරු ජනාධිපතිතුමා ඔවුන් "රණවිරුවන්" ලෙස නාමකරණය කර ඔවුන්ගේ ගෞරවනීය බව ඉහළ නැංවීය. ජනතාව තුළ මේ ආකල්පමය වෙනස ඇතිකිරීමත් සමඟ ඇතිවූ වෙනස සුළුපටු නොවේ. ත්‍රස්‌තවාදය පරාජය කරමින් "රණවිරුවන්" සුරුවිරුකම් පාන මොහොතේ මුළු ලෝකයේම තිබුණේ ආර්ථිකය කඩා වැටෙමිනි. එහෙත් ඊට ඔරොත්තු දිය හැකි අන්දමින් ශ්‍රී ලංකාව ශක්‌තිමත්ව තිබිණි. ඊට හේතුව වී තිබුණේ මෙරටට ආර්ථික ශක්‌තිය සපයන්නට තවත් පිරිසක්‌ තිරය පිටුපස සිට විශාල මෙහෙයක්‌ ඉටුකළ බැවිනි. ඒ විදෙස්‌ රටවල සිය ශ්‍රමය, කාලය, දහදිය වැය කළ මෙරට ශ්‍රමිකයන්ය, වෘත්තිකයන්ය. ඒ පිරිස්‌ ඩොලර්, පවුම් වලින් රටට ලබාදුන් ශක්‌තිය අතිමහත්ය. එහෙයින්ම ඔවුන් "රටවිරුවන්" ලෙසින් හැඳින්වීමේ වරද කුමක්‌දැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා අසන්නේය.

"මේ පිරිසට "රටවිරුවන්" කීම රුස්‌සන්නේ නැති පිරිසක්‌ අපිට ඉන්නවා. මේ චෝදනා කරන්නේ ඉතාම කුහක චේතනාවකින්. මේ අය අපි "රටවිරුවන්" හැටියට පමණක්‌ නම් කරලා ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ඒ අය ඇගැයීමට ලක්‌කරන්න ඕනේ. රට විරුවන්ගේ සංවිධාන රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම හදලා තියෙනවා. පිටරටවල ඉන්න ඒ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පවුල්වල අය එකතු කරගෙන ඒ අය රැක බලාගන්න රටවිරුවන්ගේ සංවිධාන අපි හදලා තියෙනවා. අගෝස්‌තු (04) අපි, ඒ රටවිරුවන්ගේ සංවිධානයේ ජාතික සම්මේලනය නෙළුම් පොකුණේදී ආරම්භ කරනවා. ඒකෙන් පස්‌සේ අපි මහා සම්මේලනයක්‌ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තියෙනවා".

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා රටවිරුවන් ගැන එසේ සඳහන් කළේ අතිශය හැඟීම්බරවය.

(විදේශ රැකියා ප්‍රවර්ධන හා
සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සමඟ කළ
සාකච්ඡාවක්‌ ඇසුරිනි)

උපුටා ගැනීම: http://www.divaina.com/2013/08/04/politics09.html



Category: Sinhala
Posted by: admin
රැකියා සදහා විදේශ ගතව සිට ආපසු පැමිණි, රැකියා සදහා දැනට විදේශ ගතව සිටින හා විදේශ ගතවීමට නියමිත පිරිස් ඒකරාශී කිරීම තුළින් ඔවුන්ගේ ගැටළු හා අවශ්‍යතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ අරමුණින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සංකල්පයක් මත බිහිවූ රටවිරුවෝ සංවිධානයේ ජාතික මහා සම්මේලනය ඉරිදා (2013.08.04) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ. මෙම අවස්ථාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පවුල් ඒකක වෙත උසස් ජීවන තත්වයක් ලබාදීම හා මෙම සංවිධානය තුළ ඒකරාශිවන රටවිරුවන්ට විදේශ රැකියා කාර්යාංශය හා රජයේ අනෙකුත් අමාත්‍යංශ සමග ප්‍රබල සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීමද ප්‍රධාන අරමුණකි. එසේම විදේශ රැකියා සදහා මෙරටින් බැහැරව ගොස් ආපසු පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව තහවුරු කරමින් එම පවුල් වල සාමාජිකයින් බල සතු කරමින් ඔවුන්ගේ ආර්ථික වශයෙන් සවිමත් කිරීමද මෙහි අරමුණයි.
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් 2012.03.04 වෙනි දින නිල වශයෙන් රටවිරුවෝ සංවිධානය ආරම්භ කලේය. මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල රටවිරුවෝ සංවිධාන 336 පිහිටුවා තිබේ. නිළධාරීන් 4704 දෙනෙකුගෙන් සමන්විත මෙම සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් ඒකරාශි වී සිටිති. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ඒකක 3ක් යටතේ පූර්ණ සාමාජිකත්වය සංවිධානය වී තිබේ.