-එක් අයෙකුට ලක්ෂ 3 කට ආසන්න මුදලක්

කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2011 නොවැම්බර් මස 22 දින විදේශ රැකියා ප්‍රවර්ධණ හා සුබසාධන අමාත්‍යාංශයේදී සිදු කෙරින. මේ මගින් කොරියාවේ රැකියාවල නිරතව සිටින 20000 කට පමණ ඉදිරියේදී ප්‍රතිලාභ හිමි වේ. කොරියානු ජනරජයේ ජාතික විශ්‍රාම වැටුප් සේවාව හා ශ්‍රී ලංකා රජයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය අතර අද දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරින. ගිවිසුම අත්සන් කිරීම කොරියානු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී. සියොං හුන් (Bae Seong Hoon) විදේශ රැකියා ප්‍රවර්ධන හ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් විසින් සිදු කරන්නට විය. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන් සහභාගි විය. මෙහි අරමුණ වන්නේ කොරියාවේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් හට හිමි මෙතෙක් ඉල්ලූම් නොකළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමි අය සඳහා එම ප්‍රතිලාභ කඩිනමින් හිමිකර දීම වේ.

කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් සේවාවේ තොරතුරු වලට අනුව එරට රැකියා කළ ශ්‍රී ලාංකිකයින් 14000 ට අධික පිරිසකට මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා හිමිකම් තිබේ. එහි සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 36 ක් පමණ වේ. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 4000 කට අධික මුදලක් වේ. මෙම මුදලින් එක් අයෙකුට රුපියල් 2,50000 ත් රු. 3,00,000 ත් අතර මුදලක් හිමිවීමට නියමිත බව වාර්තා වේ. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එම ප්‍රතිලාභ සඳහා හිමිකම් ඇති අයගේ තොරතුරු විදේශ රැකියා ප්‍රවර්ධණ හා සුබසාධන අමාත්‍යාංශය වෙත කොටස් වශයෙන් මාස 6ක ට වරක් කොරියානු පාර්ශවය විසින් ලබාදීමට නියමිතය. එම තොරතුරුවලට අදාල ශ්‍රී ලාංකිකයින් මගින් අයදුම්පත් කැඳවා එම අයදුම්පත් අමාත්‍යාංශය මගින් සහතික කර කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් ආයතනයට ඉදිරිපත් කරනු ලැබේ. එම ආයතනය මගින් එම තොරතුරු වල ඇති නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව එම ප්‍රතිලාභ හිමිකරුවන් වෙත ප්‍රදානය කරනු ලබයි. ඉන් පසු අමාත්‍යාංශය මගින් අදාල ප්‍රතිලාභ හිමි අය සඳහා එම ප්‍රතිලාභ ලබාදීම සිදු කරයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා පසුගියදා දකුණූ කොරියාවේ කල සංචාරයේදී එරට බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට මූලික කටයුතු කඩිනමින් සූදානම් කෙරින. එහිදී විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමි පිරිස් වලට අදාල ප්‍රතිලාභ ගෙවීමට ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි ක්‍රමයක් සැකසීමට එරට බලධාරීන් එකඟවී ඇත.

ඉහත ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ගරු ඩිලාන් පෙරේරා අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ "කොරියානු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති නිසා ඇතැම් අය මේ සඳහා නිවැරදි ක්‍රමයට අයදුම්කර නොමැතිවීමෙන් ගැටළු ඇතිවී ඇති බවයි. එයින් විශාල පිරිසකට විශ්‍රාම වැටුප් හිමි නොවන නිසා මෙම අවබෝධතා ගිවිසුමෙන් ඔවුන් වෙත ඉදිරියේදී විශ්‍රාම වැටුප් හිමිවන බවයි. අලූතෙන් කොරියාවේ රැකියාවලට යන අයත් නිවැරදි ක්‍රමය ලෙස රැකියාව අවසන් කර වසර 5 ක් ඇතුලත මේ සඳහා ඉල්ලූම් කළ යුතුයි. නිත්‍යානුකූලව ඉල්ලීම් නොකිරීමෙන් වැටුප් අහිමි වූ පිරිසට මෙම ගිවිසුමෙන් කඩිනමින් සහන ලබා දෙනවා. නිත්‍යානුකූලව අයදුම් නොකර සිටි අයට වසර 60 ඉක්මගිය පසු මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයකටයි එය ගෙවන්නේ. ඉදිරියේදී නිවැරදි ක්‍රමය දැනුවත් කර ලාංකික ශ්‍රමිකයන්ට මෙය හිමිකර දීමට කටයුතු කරනවා. මෙය අප රටට එකවර එන විශාල මුදලක් කොරියානු රැකියා ප්‍රමාණය වැඩිවෙමින් පවතින තත්ත්වය තුළ මෙම විශ්‍රාම ක්‍රමය අප ශ්‍රමිකයන්ට මහත් වාසිදායක ආශ්වාදයක් ගෙන දෙනවා. මා පසුගියදා කළ සංචාරයේදී කරනු ලැබූ ඉල්ලීමට කෙටිකලක් තුල මෙසේ ප්‍රතිචාර දැක්වීම ඉතා සතුටට කරුණක්." යනුවෙන් ප්‍රකාශ කරන්නට විය.

ඉහත ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කොරියානු විශ්‍රාම වැටුප් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කිම් සොන් ඉල් (Kim Young Eil) කළමණාකරුවන් වන යුන් ජින් සුක් (Yun Jin Suk) ක්වාක් අන් කියූ (Kawak An Kyu) යන මහත්ම මහත්මීන් සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගි විය.

20111124-img_0575.jpg

20111124-img_0592.jpg