ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට වඩා හොඳ, වඩා සුරක්ෂිත හා වැඩි වැටුප් සහිත නව රැකියා වෙළඳපොල සොයා දීමේ "මහින්ද චින්තන" ප්‍රතිපත්තිය තව දුරටත් යථාර්තයක් බවට පත් කරමින්, වසර 2013 සිට වසරකට ඉතාලියට පුහුණු සේවක සේවිකාවන් 3500 ක් බැගින් යැවීමේ ගිවිසුමකට, ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය මයුරිසියෝ සාකෝනි හා ශ්‍රි ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ රෝමයේ දී අත්සන් තැබීය. දෙරටේ නිළධාරීන් හා ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිළධාරීන් මේ වන විටත්, මෙම ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ මීළඟ පියවර පිළිබඳව සාකච්ඡා කරමින් හා අදාළ සැලසුම් සකස් කරමින් සිටී. වසර 2012 මැද භාගයේ සිට ඉතාලි භාෂාව ඉගැන්වීමේ සහ ඉතාලි රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි.

මෙම ගිවිසුම යටතේ සාත්තු සේවක (Care giver), රියදුරු, ගෘහ පාලක වැනි රැකියා වලට මෙන්ම කෘෂි කේෂ්ත්‍රයට ද පුහුණු ශ්‍රමිකයන් යැවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබේ. ගිවිසුමට යටත්වන සේවක සේවිකාවන්ගේ මූලික වැටුප්, සේවා කොන්දේසි, අතිකාල දීමනා වැනි කරුණු පිළිබඳව දෙරට අතර ඇතිකරගන්නා අවබෝධතා හා ගිවිසුම්, දැනටමත් ඉතාලියේ සිටින, ඇස්තමේන්තු ගත 75,000 ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට හානි නොවී ඔවුන්ගේ සේවා තත්වය නගා සිටුවීමට ද සෘජුවම බලපානු ඇතැයි, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා බලාපොරොත්තු වෙයි. මෙම ගිවිසුම යටතේ විවෘත වන රැකියා කේෂේත්‍ර හා පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු 2012 අප්‍රේල් මස සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා ගතහැකි බැවින්, ඉතාලි රැකියා ලබා ගැනීම සඳහා අතරමැදියන්ට මුදල් ගෙවීමට හෝ අවදානම් බෝට්ටු ගමන් වැනි ක්‍රම මඟින් ඉතාලියට යාමට උත්සාහ කිරීම අනවශ්‍ය බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන්ම අවධාරණය කරයි.

20111207-img_1032.jpg

20111207-img_1039.jpg

ඉහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අදාල ගිවිසුම් අත්සන් කිරිමෙන් පසු ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ ඉතාලි අමාත්‍ය මයුරිසියෝ සාකෝනි මැතිතුමන් හා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතුමන් දෙපල විසින් සැමරුම් තිළිණ හුවමාරු කරගත් අවස්ථාවයි.
ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති අසිත පෙරේරා මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න මහතා දල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.