ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉරාකයේ පවතින රැකියා අවස්ථා උදාකිරීමේ අරමුණින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ඇතුලූ නියෝජිත පිරිසක් මේ දිනවල ඉරාකයේ සංචාරයක නිරතව සිටී.

අමාත්‍යවරයා ඇතුලූ එම නියෝජිත පිරිස හා ඉරාකයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍ය නසාර් අල් අබා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (පෙ.බ 22) සිදු විය. එහිදී ඉරාකයේ හෝටල් ක්‍ෂේත්‍රය හා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව හා එම රැකියා ආශ්‍රිත පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලාංකිකයන් එරටට යැවීම පිළිබඳ කරුණු සාකච්ඡා වී තිබේ. අනතුරුව ඊට අදාළව මූලික ද්වීපාර්ෂවීය අවබෝධතා ගිවිසුමක් ද අමාත්‍යවරුන් විසින් අත්සන් තැබිණි. පැවති සාකච්ඡා අවස්ථාවට එරට කම්කරු හා සමාජ සේවා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය අබ්දූල් සබ් ශිනාවා ෆුහාඩ්, කම්කරු හා සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය ධාරා හසාන් රෂිඞ් යන අමාත්‍යවරුද සහභාගී සිටියහ. අමාත්‍යවරුන් දෙපළ ද්වීපාර්ෂවීය එකඟතා සහිත මුලික අවබෝධතා ගිවිසුම් අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධක්ෂ එම්.ඒ.එම් අහමඞ් යන මහත්වරුද මෙහි වෙති.

20120224-hon.jpg