ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම පිළිබඳව, මේ දිනවල එරට සංචාරයක නිරත වී සිටින විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හා ජෝර්දානයේ කම්කරු අමාත්‍ය මහීර් අල් වාකිඞ් යන මහත්වරුන් අතර ඊයේ පවති සාකච්ඡාවකදී විශේෂ අවධානය යොමු වී තිබේ. එමෙන්ම රැකියා සම්බන්ධව දෙරටටම බලපාන කරුණු ගණනාවක් ද දෙපාර්ශවය අතර එහිදී සාකච්ඡාවට ලක් විය. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා අදාළ වැටුප් වැඩිකිරිම සම්බන්ධව සිය යෝජනාව සාකච්ඡා අතරතුර ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ එම ඉල්ලීම සාධාරණවන බව එරට කම්කරු අමාත්‍යවරයා විසින් පිළිගෙන එහිදී ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.

මෙයට අමතරව ජෝර්දානයේ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට ලබාදෙන රක්ෂණාවරණය පිළිබඳ එරට කම්කරු අමාත්‍යාංශය හා රැකියා නියෝජිතයින් දැනුවත් කිරිමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දිමෙන් පසු ඊට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එරට කම්කරු අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයින් එහිදී එකඟතාවක් පළකොට ඇත. ජෝදානයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එරට කම්කරු අමාත්‍යවරයාට දන්වා තිබේ. මෙයට අමතරව එරට සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධන අවශ්‍යතා හා ආරක්ෂාව වඩාත් හොඳින් තහවුරු කිරීම පිලිබඳව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා එහිදි අවධාරණය කොට ඇති අතර ඉදිරි කාලයේදි රැකියා ඇනවුම් ලබාගැනිමේදි ඊමේල් හා වෙනත් අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කොට තිබේ.

අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා එරට සේවය කරන ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග ද සාකච්ඡා කොට ඇති අතර ඔවුන්ට බලපාන පොදු ගැටලූ කිහිපයක් සඳහා අවශ්‍ය කඩිනම් විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස එකඟ වී ඇත.
මෙම අවස්ථාවට එරට කම්කරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඊබ්‍රහහිම් අල්ෂුබ්, කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, ජෝර්දානයේ ශ්‍රී ලංකා තනාපති ගාමිණී රාජපක්ෂ, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය යන මහත්වරුද ඊට සහභාගි වි සිටියහ.