විදේශගතව රැකියා කරන දෙමාපියන්ගේ දරුවන්ගේ ඉගෙනුම ලබන පාසල්වල ළමුන්ගේ ඉංග්‍රී දැනුම වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ. ඒ අනුව ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා මනෝවිද්‍යාත්මක පදනමක් සහිතව විශේෂයෙන් සකසන ලද පොත් කට්ටල රජයේ පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණිවල ළමයින් වෙනුවෙන් නොමිලයේ ලබාදීමේ වැඩසටහනක පළමු වැන්න පසුගියදා (අප්‍රේල් 28) බදුල්ල ජාතික පාසලේදී පැවැත්විණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලූ පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණිවලට අයත් දරුවන් දෙදහසකට වැඩි පිරිසකට එහිදී ඉංග්‍රීසී පොත් සහිත පාසල් බෑග පිරිනැමිණි.

එම අවස්ථාවේ රැස්ව සිටි දරුවන් ඇතුළු පිරිස අමතා අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වර්තමානයේ උසස් අධ්‍යාපනය ලැබූ උපාධිධාරීන් පවා ඉංග්‍රීසි භාෂාව දැනුම අල්ප වීමෙන් සමාජය ඉදිරියේ අසරණ වන අවස්ථා සුලබ බව පෙන්වාදුණි. අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂාවට වහල්වීම නොව එම භාෂා දැනුම සහිතව ලෝකය ඥානණය කළ හැකි මිනිසෙකු බවට පත්වීම බව අවධාරණය කළ ඒ මහතා පාසල් අධ්‍යාපනයේ මූලාරම්භයේදීම දරුවෙකු ඉංග්‍රීසි බසට හුරුකරවීම ඉතා වැදගත් යැයි පැවසීය. ඉංග්‍රීසි බස ලාංකිකයින් හැටියට වරදමින් හෝ හැකි ආකාරයෙන් උච්චාරණය කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බවද පැවසූ ඒ මහතා උත්සාහයෙන් එම දැනුම ලබානොගන්නේ නම් ජීවිතයට අත්‍යාවශ්‍ය ම හයියක් ගිලිහී යන බවද පාසල් ළමුන්ට අවධාරණය කළේය. දරුවන් රටේ අනාගතය බැවින් අනාගත මව්බිමට ශක්තිමත් මිනිසෙකු නිර්මාණය කිරීමේ අරමුණින් තම අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවද ඩිලාන් පෙරේරා මහතා එහිදී පැවසීය.

අමාත්‍යවරයා පාසල් දරුවන් පිරිසකට පොත් කට්ටල සහිත පාසල් බෑග් පිරිනැමූ අයුරු හා තිළිණ ලැබූ දරුවන් පිරිසක් අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සමග එක්වී සිටි අයරු ඡායාරූපවලින් දැක්වේ. මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී නිමල් රත්නායක, බදුල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද සිරි ගොඩකන්ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තරංග නලින් ගම්ලත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය යන මහත්වරු ඇතළු නිලධාරීහු පිරිසක් ද සහභාගී සිටියහ.

20120502-books1.jpg

20120502-books2.jpg