ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉල්ලීමකට අනුව රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින් වෙනුවෙන් විශේෂ ජාත්‍යන්තර වීසා ඉලෙක්ට්‍රොනික කාඞ්පතක් නිකුත් කිරීමට ලංකා බැංකුව පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර බැංකු හා ජාලගත කර ඇති එම කාඞ්පත මගින් ශ්‍රමිකයින්ට ඔවුන් සේවය කරන රටවල ඒ.ටී.එම් ජාලමගින් ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙන අතර එය ශ්‍රමික අනන්‍යතාව සහතික කිරීම සඳහා ද භාවිත කළ හැකි අයුරින් සකස්කර ඇත.
කෝ-බ්‍රෑන්ඩඩ් නමින් හැඳින්වෙන නව කාඩ්පත් නිකුතුව පසුගිය 26 වැනිදා කාර්යාංශයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් නිකුත් කෙරුණි. එහිදී අමාත්‍යවරයා අතින් ජපානයේ මැෂින් ඔපරේටර් වරියක වශයෙන් රැකියාව සඳහා පිටත්ව යන දුම්මලසූරිය ප්‍රදේශයේ ආර්. එම්. පී රත්නායක මහත්මිය සිය බැංකු කාඞ්පත ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ලංකා බැංකු කාර්යාංශ ශාඛාවේ කළමනාකරු කේ. කේ. ඩයස් මහතාද මෙහි සිටී.

20121107-img_3614.jpg