අමාත්‍ය ඩිලාන් පෙරේරා

20121204-03.png

අනවශ්‍ය මාතෘකා ඔස්සේ සංවාද හදාගැනීමට වඩා මහජන නියෝජිතයින් කළ යුත්තේ ජනතා සේවයට කැපවී කටයුතු කිරීම බවත් ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව ආදි සෑම තැනදීම මහජන නියෝජිතයින් ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මතුගම ඉදිකළ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා (නොවැ 24) එම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ”අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ අනවශ්‍ය ආකාරයේ බොරු මාතෘකා උඩ රණ්ඩු කරන එක නෙවෙයි. මේ දවස්වල මාතෘකාවක් යනවා 13 වෙනි සංශෝධනය අහෝසි කරනවද? නැද්ද? ඕනද කියලා නමුත් අද අවශ්‍ය වෙලා තියෙන්නේ ඒම මාතෘකා ගැන සංවාද කරනවාට වඩා ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ, පාර්ලිමේන්තුවේ මේ හැම එකකින්ම ජනතාවට සේවය කිරීමයි. 13 වෙනි සංශෝධනය ගැන කතාකරන සමහරුකියනවා තර්ටීන් ප්ලස් කියලා, තව කොටසක් කියනවා තර්ටීන් මයිනස් කියලා, තවත් පිරිසක් තර්ටීන් ඕන කියනවා. මම කියනවා අපට අවශ්‍ය වෙලා තියෙන්නේ තර්ටීන් මයිනස් වන් ප්ලස් ටූ කියලා. අඩුකළ යුතු දේ අඩු කරගෙන එකතු කළ යුතු දේ එකතු කරගෙන ජනතාවට සේවය කරන්න පුලූවන් ආකාරයේ පළාත් සභාවක් නිර්මාණය කරන එකයි. අද අපි තර්ටීන් ප්ලස් ගැන කතා කරන කොට එක්සත් ජාතික පක්ෂය කතා කරනවා සික්ස් ප්ලස් ගැන. දෙසැම්බර් පළවෙනිදා ඒකාධිපති විදියට වසර 6කට එජාපයේ නායකයා වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරනවා කියනවා. අවුරුදු ගාණක් දේශපාලනය කරපු කෙනෙක් විදියට මගේ අදහස එජාපයේ නායකත්වයට සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයයි. එතුමට රටේ නායකත්වයට පත්වෙන්න ජනතා කැමැත්ත නැති උනත් එතුමාට අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 16ක්ම ඒජාපයේ නායකත්වය දරන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද පැවසීය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන්වන චන්ද්‍රභානු අධිකාරම්, කීර්ති කාරියවසම්, විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරුද එහිදී අදහස් දැක්වීය.