ඇමති ඩිලාන් රට විරුවෝ ඇගයුම් සමාප්ති උළෙලේදී කියයි.

20121220-img_5211.jpg

විදේශගත ශ්‍රමිකයින් නොයෙකුත් කැපකිරීම් කරමින් පෝෂණය කරන විදේශ විනිමය රට සංවර්ධනය කිරීමේලා ඉහළම දායකත්වය ලබාදෙන බවත් රටට මහා සම්පතක්ව ඇති ඔවුන් හා එම පවුල්වල සමාජිකයින් ඇතුළු රටවිරු ප්‍රජාව නිරන්තරයෙන් සමාජ ඇගයීමට ලක්කිරීම සමාජීය යුතුකමක් බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. විදේශගත ශ්‍රමිකයින් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කොට තිබූ ”රටවිරුවෝ දසදින ඇගයුම” දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාප්ති උළෙල ඊයේ ඊයේ බදුල්ල නගරශාලාවේ පැවති අවස්ථාවේ අමාත්‍යවරයා එසේ පැවසීය. ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය තේමා කොට ගනිමින් පැවති සමාප්ති උළෙල අවස්ථාවට තුන් දහසකට වැඩි රටවිරු සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” කිලිනොච්චියෙන් අරඹා දින දහයක් පුරා සියලූ පළාත් දිස්ත‍්‍රික්ක ආවරණය කරමින් අපි රටවිරුවන් ඇගයීමට ලක්කළා. රණවිරුවන් වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය නිමා කරද්දී ඊට අවශ්‍ය ශක්තිය ගෙන දුන්නේ විදේශගත ශ්‍රමිකයනුයි. අමරිකාව, යුරෝපය ප්‍රමුඛ දැවැන්ත ආර්ථිකයක් හිමි රටවල් 2009 යේදී ආර්ථික අර්බුදයකට යද්දි අර්බුධයකින් තොරව ත්‍රස්තවාදී යුද්ධයක් නිමාකරන්න අපට හැකිවුණා. ඒ රටවිරුවන් මෙරටට එවූ විදේශ විනිමයේ ශක්තියෙන්. මේ වසරේ ඔක්තෝම්බරය වෙන කොට විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක් මෙරටට එවා තිබෙනවා. මේ රට ගොඩනැගීමේ දැවැන්ත කාර්ය භාරයේ පෙරගමන් කරුවන් වී ඇත්තේ ඔවුන්. තමන්ගේ දරුවන්ගෙන්, සැමියාගෙන්, බිරිඳගෙන් වෙන්වෙලා ඈත රටක දුක් විඳමින්, අනන්ත කැප කිරීම් කරමින් මව්බිමට හෙටක් හදන මේ රටවිරු ප්‍රජාව රැකගනිමින් ඔවුන් නිරන්තර ඇගයීමට ලක්කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් මිලියන 1.7 කට වැඩි වැඩි පිරිසක් විදේශගතව රැකියා කරනවා. ඒ එක් ශ්‍රමිකයෙකුගේ පවුලක සමාජිකයින් තිදෙනෙක් සිටිනවා යැයි සලකා ගණන් බැලූවොන් මෙරට ජනගහනයෙන් සියයට 25කට වැඩි පිරිස්ක රටවිරු ප්‍රජාවට අයත් වෙනවා. මේ ප්‍රජාව රැකබලා ගැනීමත් ඇගයීමත් වසරක එක් දිනකට සීමා කරන්න බෑ. රට දිනා දුන් රණවිරුවාත් රට ගොඩනඟන රටවිරුවාත් වසරේ 365 දවසෙම ඇගයීමට ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් රටවිරුවෝ සංවිධානය ප්‍රදේශීය ලේකම් කාර්යාල, දිස්ත‍්‍රික්, පළාත් හා ජාතික තලයේ දැවැන්ත සංවිධානයක්ව ගොඩනැගෙනවා. ලබන වසරේ දිවි නැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටවිරු නිවාස ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගෙයක් දොරක් හදාගැනීමේ රට විරුවාගේ බලාපොරොත්තුව ඉටුකිරීමේ අරමුණින් අරඹන මේ ව්‍යාපෘතිය යටතේ ලබන වසරතුළ වසම් 10000ක් ආවරණය වන ලෙස නිවාස ඉදිකරීමට අප කටයුතු කරනවා. රට ගොඩනගන රටවිරුවන් රතු පලස් මතින් ඉතා ගෞරවාන්විතව පිළිගන්නා හෙටක් මෙරට නිර්මාණය කිරීමයි අපේ අරමුණ.” යැයි ද පැවසීය.
රටවිරුවෝ ඇගයුම සමාප්ති උළෙල අවස්ථාවට නිමල් රත්නායක, නිලමේ වික්‍රමරත්න, මානෙල් රත්නායක යන ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එන් විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

20121220-img_5165.jpg

20121220-img_5030.jpg