ඒත් ඒ අය ගැන අපි විමසිල්ලෙන්...
ඇමති ඩිලාන් කියයි..


විදේශ රැකියාවල නිරත වී සිටින පිරිසෙන් ගැටළු ඇතිවන්නේ සියයට 5කට වඩා අඩු පිරිසකට පමණක් බවත් අනෙක් පිරිස සාර්ථකව රැකියාවල නිරත වී සිටින බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. එහෙත් ගැටළු ඇතිවන එම සුළු පිරිස කෙරෙහි දැඩි අවධානයකින් සිටින අතර ඔවුන්ගේ ගැටළු වලට කඩිනම් සහන ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් තානාපති කාර්යාල හරහා ක‍්‍රීයාත්මක කරන බවද ඔහු කියා සිටී. ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ බදුල්ල විදේශ සේවා කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි. බදුල්ල ඉලූක්තැන්න ප්‍රදේශයේ රටවිරු කාන්තාවකට සිය නිවස ඉදිකර ගැනීමට රු. 250,000 මෙම උත්සවයේදී පරිත්‍යාග කල අතර මෙයට අමතරව ප්‍රදේශයේ රටවිරු පවුල් කිහිපයකට රු.25000 බැගින් පරිත්‍යාග කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙසද ප්‍රකාශ කලේය. ”රටවිරු පවුල් සඳහා අපි හැමවිටම සුභසාධන පහසුකම් සපයනවා. දූ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසැල් උපකරණ, නිවාස ණය, රටවිරු රුකවරණ සේවා, ස්වයං රැකියා ණය ඒ අතර ප්‍රධානයි. දැනට රට රැකියා කරන සංඛ්‍යාව ලක්‍ෂ 17කට ආසන්නයි. ඒ අයගෙන් මෙරට යැපෙන සංඛ්‍යාව අවම වශයෙන් 3ක් ගත්තොත් සමස්ථ රටවිරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 51 ක් පමණ වෙනවා. ජනගහනයෙන් 1/4 ක්විදේශ රැකියා වලින් පෝෂණය වෙනවා. ඡන්දෙකදී මේ සංඛ්‍යාව කාටහරි මනාප දුන්නොත් එයා ලංකාවෙන්ම පළවෙනියා වෙනවා. රටවිරුවන්ගේ බලය තමයි ඒ. හැබැයි මේ අය අපි කවදාවත් දේශපාලන වැඩවලට යොදා ගත්තේ නෑ. අපි ඔවුන් රටේ සංවර්ධනයට, රටේ අනාගතයට යොදා ගන්නවා. මම කලින් කිව්වා වගේ ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරන මෙම පිරිසට අපි උපරිමයෙන් සහන ලබා දෙන්න ඕනි. මොකද, රට රැකියා වල නිරත වී සිටින ලක්‍ෂ 17 කට ආසන්න පිරිස වාර්ශිකව ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් හෙවත් රුපියල් කෝටි කෝටි 6000ක් එවනවා. අපේ විදේශ සංචිත වල වැඩිම ප්‍රමාණය ලබා දෙන්නේ මේ පිරිස. මේ බිලියන 6 නැතිනම් අද වාහනයක යන්න බෑ. මොකද අපි වාර්ශිකව තෙල් සඳහා ඩොලර් බිලියන 6ක් විතර පිටරටට ගෙවනවා. අද සැප වාහනවල යන අය යන වාහනවල තෙල් වලට පිටරටට සල්ලි ගෙවන්නේ රටවිරුවන්. ඒකයි ඔවුන් රණවිරුවන්ට පමණක් දෙවැනි වන්නේ. මම ඇමති වෙලා ඉන්නකම් මේ උතුම් පිරිසට පැය 24ම සේවය කරනවා.
අපි රට රැකියාවලට යන අයගෙන් විශේෂයෙන් මව විදේශ ගත වීමේදී වැඩි අවධානයක් යොමු කරනවා. මොකද මව විදේශ ගත වුනාම පවුල් විනාශ වෙන්න පුළුවන්. මව නොමැතිවිට දරුවන් අනාරක්‍ෂිත වෙන්න පුළුවන්. අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න පුළුවන්. මව ලංකාවට එන විට විනාශ වෙච්ච පවුලක්වත් පාතාලයට මැරයන් එකතු කරපු පවුලක්වත් තියෙන්න බෑ. සතුටින් සිටින අභිමානවත් රටවිරු පවුලක් වෙන්න ඕනි. ඒ නිසා මව විදේශ ගත වීමේදී පවුල් පසුබිම් වාර්ථාව අනිවාර්ය කළේ ඒ නිසයි. පවුල් පසුබ්ම් වාර්ථාව නැත්නම් පසුගිය 15 දා සිට රට රැකියාවකට කිසිම පුහුණුවක් ලබා ගන්න බෑ. එතකොට රට යන්නත් බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්න උපාධිධාරී සංවර්ධන සහයක නිළධාරීන්ගේ අවංක සේවය මෙහිදි අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය සහිත රට යෑමට සුදුසු පවුල් පසුබ්ම් වාර්ථා තියෙන අයට විතරයි මින් ඉදිරියට රට යන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන්ද ප්‍රකාශ කලේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, රට රැකියාවල යෙදී සිටින කෙනෙකුට යම් ගැටළුවක් ඇතිවූ විට එය ළඟම ඥාතියෙකුගේ මාර්ගයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි පණිවිඩ සේවාවට (SMS) එම ගැටළුව ලබා දිය හැකි බවයි. එවිට එම ගැටළුව කාර්යාංශයේ බලධාරීන්ට ක්ෂණිකව යොමු වන අතර එය අදාල රැකියා නියෝජිතයාට ලබා දේ. එවිට එම නියෝජිතයා ඒ ගැන වහාම සොයා බලා නැවත SMS පණිවිඩයක් ලබා දිය යුතුය. එසේ නොවුනහොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි. මෙම ක්‍රමය ජූලි 19 සිට ක්‍රියාත්මක වේ.
රට රැකියාවල නිරත වී සිටින අයගේ ගැටළු මාධ්‍ය මගින් හෙලිකිරීම අගය කරන බවත්, එම ගැටළු දැනගත් වහාම විසඳුම් ලබා දීම සඳහා නිළධාරීන්ට නියෝග ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම රට ගොස් දිවිපිදූවන්ගේ තොරතුරුද මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ වැදගත්කමද මෙහිදී ඩිලාන් පෙරේරා මහතා පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංහයේ අතිරේක සාමාන්‍යාධිකාරී ක්‍රිෂෝලි පෙරේරා මහත්මිය ඇතුළු රටවිරු පවුල් සාමාජිකයින් රැසක් එක්වී සිටියහ.

20130722-img_36891.jpg
විදේශ රැකියාවක නිරත වි පැමිණි බදුල්ල ඉලූක්තැන්න ඩබ්. එම්. ශ්‍රීයානි මහත්මියට නිවසක් ඉදි කිරීම සඳහා රු.250000 ලබා දීම.

20130722-img_36961.jpg
ජෝර්දානයේ ගෘහ සේවයේ නිරත වී සිට ආබාධිත තත්වයේ පසුවන රූපිකා ස්වර්ණපාලි මහත්මියගේ දියණියට පාසැල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීම.

20130723-img_36911.jpg