- විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා


මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට යන මෙරට කාන්තාවන්ට අත්විඳින්නට සිදුවන බොහෝ පීඩාවන් පිළිබඳව මෑතක සිට නිරන්තරයෙන් අසන්නට ලැබේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය මේ වනවිට මේ තත්ත්වය පිටු දැකීමේ ක්‍රියාමාර්ග රැසක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. එහි මූලික පියවරක්‌ ලෙස මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටත්කර හැරීමේ යම් සීමාවක්‌ පනවන්නට කටයුතු යොදාගෙන යයි.

එය විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් වචනයෙන්ම කිවහොත් "ගෘහ සේවිකාවන් තහනම් නොකොට තහනම් කිරීමේ" ක්‍රියාවලියකි.

ගෘහ සේවිකාවන් ගෘහ පාලිකාවන් ලෙස උසස්‌ කෙරේ

අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊට අර්ථ සපයන්නේ මෙසේය.

"කවුරුහරි අහන්න පුළුවන් මොකක්‌ද මේ පිස්‌සු කතාව කියලා. මේ වෙනකොට මැදපෙරදිග රටවල යන ගෘහ සේවිකාවන් සඳහා අපි අලුත් නීතියක්‌ ගෙනල්ලා තියෙනවා. ඒ තමයි ජාතික වෘත්තිය නිපුණතා තැන්වැනි ශ්‍රේණිය පාඨමාලාව හදාරා එය සමත් වුනොත් විතරයි මීට පස්සේ ගෘහ සේවිකාවක්‌ ලෙස යා හැක්කේ. එන්.වී.කිවු. සහතික හිමි අයෙක්‌ ගෘහ සේවිකාවක්‌ ලෙස හැඳින්වෙන්නේ නැත. එවිට ඔවුන් හඳුන්වන්නේ ගෘහ පාලිකා සහායකවරියන් ලෙසයි. අන්න ඒ නිසයි මම කිව්වේ තහනම් නොකොට තහනම් කරනවා කියලා".

මෙහිදී මේ කාන්තාවන් වෘත්තිමය නිපුනතාවන්ගේ විදෙස්‌ගත වන්නේ ගෞරවනීය බවක්‌ හිමිකර ගනිමිනි. එය වරප්‍රසාද ගණනාවක්‌ හිමිකර දෙන්නකි. ගෘහ පාලිකා සහායකවරියන්ට වැඩි වැටුප්, ඒ ඒ රටවලට හිමි වරප්‍රසාද, ලැබෙනවා සේම ඒ රටවල පවතින සමාජ ආරක්‍ෂතා ක්‍රමවලට ඔවුන් අන්තර්ග්‍රහණය වේ. පිලිපීනය වැනි රටවල කාන්තා ශ්‍රමිකයන්ට වැඩි වරප්‍රසාද මැදපෙරදිග රටවලදී ලැබෙන බවට බොහෝ දෙනෙක්‌ නගන පැනයකි. ඊට හේතුව වී තිබුණේද, පිලිපීන කාන්තාවන් බොහොමයක්‌ ඉහත කී පාඨමාලාව සමත්ව මැදපෙරදිග රටවලට පැමිණීමයි. එහෙයින්, එම පැනයටද මේ ක්‍රියාවලියෙන් පිළිතුරු ලැබේ.

අමාත්‍ය ඩිලාන් පෙරේරා අමාත්‍යාංශයේ වැඩබාරගත් මුල් දිනවලම කළ වැදගත් කාර්යයක්‌ වූයේ ගෘහ සේවය සඳහා පිටත්ව යැමේ අවම වයස්‌ සීමාව අවුරුදු 21 දක්‌වා ගෙන ඒමය. ඒ නිසාම බොහෝ විට වංචනික ලෙස සකස්‌කරන ලද ගමන් බලපත්‍රයකින් වුව විදෙස්‌ ගතවන්නියකගේ සාමාන්‍ය වයස 18 පිරී තිබීම ඉබේම සිදුව තිබේ.

දැන් මම ඒක තවදුරටත් ඉදිරියට ගෙනල්ලා, සෞදි අරාබියාවට පිටත්ව යන කාන්තාවන්ගේ වයස්‌ සීමාව අවුරුදු 25 දක්‌වාත්, මැදපෙරදිග වෙනත් රටවලට යන කාන්තාවන්ගේ වයස අවුරුදු 23 දක්‌වා වැඩිකර තිබෙනවා. ඒ නිසා හොර පාස්‌පෝට්‌ හදාගෙන ගියත් "බාලවයස්‌කාරයන්" රට යනඑක නතර වෙලා තියෙනවායි. අමාත්‍යවරයා පවසන්නේය.

විදේශ රැකියා බලපත්‍රයෙන් රට යැවිය හැක්කේ කාවද?

විදේශ රැකියා බලපත්‍ර හිමියන් බොහෝ දෙනෙක්‌ තුළ ඇති වැරැදි ආකල්පයක්‌ වන්නේ එම බලපත්‍රය ලබා දෙන්නේ ගෘහ සේවිකාවන් විදෙස්‌ගත කිරීම සඳහාය යන්නයි. එහෙත් එය වැරදි බවද අමාත්‍යවරයා කියන්නේය.

"අපි දෙන්නේ පිටරට රස්‌සාවල් සඳහා මිනිස්‌සු අරින්න බලපත්‍රයක්‌. මේ වැරැදි ආකල්පය වෙනස්‌ කරන්න මම ගෘහ සේවිකාවන් යෑවීමට කෝටා ක්‍රමයක්‌ ඇති කළා. අපි මේ විදෙස්‌ රැකියා නියෝජිතයන්වත් "තරු" අනුව ශ්‍රේණිගත කරලයි තියෙන්නේ. ඒ ශ්‍රේණිගත කිරීම අනුවයි කෝටා ප්‍රමාණය ලැබෙන්නේ. ඒ අනුව දැන් ඔවුන්ට තමන්ට කැමැති ප්‍රමාණයක්‌ අරින්න බෑ. එතකොට ඒ සීමාවට යටත්ව ඔවුන් තවදුරටත් විදෙස්‌ගත කරන්න උත්සාහ දරන්නේ ගෘහ සේවිකාවන් පමණක්‌ම නොවෙයි. වෙනත් රැකියා ක්‍ෂේත්‍රවල අයයි. අපිට අවශ්‍ය කරන්නෙත් ඒකමයි. එතකොට හොඳ පුහුණු ශ්‍රමිකයන්ට විදෙස්‌ගත වීමේ ඉඩකඩ ලැබෙනවා. ප්‍රමාණාත්මක බව නොවෙයි වැදගත් ගුණාත්මක බවයි. එහෙම වෙනකොට ලැබෙන ප්‍රතිලාභය වැඩියි. අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් වැඩියි.

ගෘහ සේවිකාවන් විදෙස්‌ගත වීම අඩුනිසා රටට ලැබෙන ආදායම අඩුවෙලාද?

මෙය බොහෝ දෙනෙක්‌ තුළ තිබෙන තවත් වැරැදි මතයක්‌ බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පෙන්වා දෙයි. "ගෘහ සේවිකාවන්ගෙන් පමණක්‌ නොවෙයි රටට ආදායම ආවේ, පිටරට රැකියා සඳහා පිටත්ව යන හැමෝගෙන්මයි. පසුගිය කාලයේ අප ගෙනගිය වැඩ පිළිවෙල සාර්ථක බව අපිට සංඛ්‍යා ලේඛන වලින් පේනවා. 2012 ජනවාරි සිට ජූලි දක්‌වා ගත්තොත්, විදෙස්‌ගත වූ ප්‍රමාණය 2013 ජනවාරි - ජූලි සමඟ සංසන්දනය කළොත්, පුරුෂ පක්‍ෂයද ඇතුළත්ව, පිටරට ගිය ප්‍රමාණය 13,000 කින් වැඩිවෙලා. ඒ කියන්නේ විදේශ විනිමය ගලා ඒමේ වැඩිවීමකුත් තියෙනවා. මේ සමස්‌ත ප්‍රමාණය ඇතුළේ ගෘහ සේවිකාවන් සඳහා ගිය ප්‍රමාණය එම වර්ෂවල 5000 කින් අඩුවෙලා. නමුත් සමස්‌ත ප්‍රමාණයේ අඩුවීමකුත් වෙලා නෑ. ගෘහ සේවිකාවන් සඳහා නොවන කාන්තාවන් එම වර්ෂවලටම සන්සන්දනය කර බැලුවොත් 1600 කින් වැඩිවෙලා. මේක අපි ලබපු ජයග්‍රහණයක්‌. ඒ කියන්නේ අපි යන පාර, අපි ක්‍රියාත්මක කරන දේ සාර්ථකයි.

පිරිමින්ට කොරියාව විතරද?

කොරියාව පිළිබඳව වර්තමානයේ බොහෝ සෙයින් කතාබහට ලක්‌වුවද, මෙරට ශ්‍රමිකයන්, වෘත්තිකයන් වැඩි වශයෙන් ගිය රට හැටියට හැඳින්වෙන්නේ කොරියාව නොවේ.

මැද පෙරදිග රටවල් ඒ අතර ප්‍රමුඛතාව ගනී. එහෙත් කොරියාව පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවන්නේ මැද පෙරදිගට සාපේක්‍ෂව කොරියාවේ වැඩි වැටුප් හා අර්බුද අවම වීමය. ඩිලාන් පෙරේරා ඇමැතිවරයා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය බාරගත් පසු කොරියාව ගැන විශේෂ අවධානයක්‌ යොමු කරන්නේය. ඒ නිසාම ඉතිහාසයේ ප්‍රථම වරට ලෝකයේ වෙනත් රටවල් සියල්ල අභිභවමින් කොරියානු භාෂා විභාගයෙන් 2011 වර්ෂයේ දී 2998 දෙනකු කොරියානු විභාගයෙන් සමත් කරවීමට අපට හැකියාව ලැබිණි. කොරියාවට ශ්‍රමිකයන් යවනු ලබන රටවල් 20 ක්‌ පමණ වේ. හැම වර්ෂයකම කාර්යක්‍ෂමතාව, විනිවිධභාවය, පළපුරුද්ද යන කරුණු මත පදනම්ව කොරියානු රජයෙන් එම රටවල් 20 න් එක්‌ රටක්‌ තෝරා සම්මාන හා ත්‍යාග පිරිනැමීම සිදුකරයි. ගෙවුණු වසර දෙකෙන්ම එම ත්‍යාගය හිමිකර ගැනීමේ අවස්‌ථාව ලැබුණේ ශ්‍රී ලංකාවටය.

කොරියානු රජය සමඟ අප මේ කටයුත්ත කරගෙන යන්නේ E9 කියන වීසා ක්‍රමය යටතේ. ඒ කියන්නේ කොරියාවේ යම් සමාගමකින් අවශ්‍යතා සුදුසුකම් මත තෝරා ගනු ලබන පිරිසක්‌ අපි මෙරට දී පුහුණු කර වසර දෙකක්‌ තුළ ඒ රටට යෑවීමයි. ඊට අමතරව ,E10, වීසා ක්‍රමයත් අපිට ධීවර ක්‍ෂේත්‍රය සඳහාත් වෙනත් ක්‍ෂේත්‍ර සඳහාත් ලබාගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ දිනවල කොරියාව සමඟ සාකච්ඡා කරගෙන යනවා. අපි ඉතාලිය සමඟ කළ සාකච්ඡාවකින් පසු ඇතිකරගත් ගිවිසුමක්‌ අනුව අපිට රැකියා අවස්‌ථා 520 ක්‌ ලැබුණා. ඒ 520 ට ඉතාලි භාෂාව පවා පුහුණු කළා. ඉතාලියේ, වෙනීසියේ හෝටල් ක්‍ෂේත්‍රයේ හා වැඩිහිටියන් රැකබලා ගැනීමේ රැකියා අවස්‌ථා ඒ අයට ලැබෙනවා. අපි එතැනින් නැවතිලා නෑ..... "ෂී ෂෙල්ස්‌" රට සමඟ අතිගරු ජනාධිපතිතුමා කළ සාකච්ඡාවක්‌ අනුව ඒ රටටත් ශ්‍රමිකයන් පිටත්කර හරින්න අපි කටයුතු සකස්‌කරගෙන යනවා. ගුරුවරුන්, නීතිවේදීන් සහ වෙනත් රැකියා අවස්‌ථා සඳහාත් ෂී ෂෙල්ස්‌ රටේ අපට රැකියා අවස්‌ථා තියෙනවා. මුරුසිය, හොංකොන් වැනි රටවල් සමඟත් අපි සාකච්ඡා කරගෙන යනවා". අමාත්‍ය ඩිලාන් පෙරේරා කියන්නේය.

අම්මලා රට ගියාම දරුවන්ට මොකද? වෙන්නේ

රට තුළ වාර්තාවන ළමා අපයෝජන ළමා හිංසනයන් ආදිය ගැන කතා කරනවිට එම සිදුවීම් මාලාවන්ට පාදක බොහෝ පවුල්වල මව විදෙස්‌ගතව සිටීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. එහෙයින්ම ඒ ගැන අවධානය යොමු කළ යුතු යෑයි බොහෝ සමාජ සංවිධාන හඬ නගන්නේය. විශේෂයෙන් අවුරුදු පහට අඩු ළමයින් සිටින මවුපියන් විදෙස්‌ගත වීම වැළැක්‌විය යුතු යෑයිද කියෑවේ. ඊට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා පවසන්නේ මෙවැන්නකි.

අවුරුදු පහට අඩු ළමයි ඉන්න අම්මලාට රට යන්න බෑ කියන චක්‍රලේඛය මේ අමාත්‍යාංශයෙන් නිකුත් කරලා අවුරුදු ගණනාවකටත් වැඩියි. ඇත්තටම මේච්චරකල් අපි කරලා තියෙන වැරැද්ද තමයි අවුරුදු පහට අඩු ළමයි ඉන්නවද? නැද්ද? කියන එක. අපි තීන්දු කරලා තියෙන්නේ අම්මලාගෙන් අහලා. ඇත්තටම අම්මලා එහෙම බොරු කියලා යන්නේ දරුවට තියෙන අනාදරයට නොවෙයි. පසුගිය දිනවල ඉඳලා අපි ක්‍රියාත්මක කළා වැඩ පිළිවෙළක්‌, මීට පස්‌සේ අපි පිටරට යන්න ඉන්න කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තාවක්‌ ගන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා.

"රට විරුවන්" කවුද? වැදගත්කම මොකක්‌ද?

"රටවිරුවන්" යනු අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරන පිරිසකි. මුල් යුගයේ ශ්‍රී ලංකා භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවුනු ආරක්‍ෂක නිලධාරීන් හැඳින්වූයේ, අදාළ හමුදා ඛණ්‌ඩයේ සොල්දාදුවෙක්‌ ලෙසිනි. එහෙත් අතිගරු ජනාධිපතිතුමා ඔවුන් "රණවිරුවන්" ලෙස නාමකරණය කර ඔවුන්ගේ ගෞරවනීය බව ඉහළ නැංවීය. ජනතාව තුළ මේ ආකල්පමය වෙනස ඇතිකිරීමත් සමඟ ඇතිවූ වෙනස සුළුපටු නොවේ. ත්‍රස්‌තවාදය පරාජය කරමින් "රණවිරුවන්" සුරුවිරුකම් පාන මොහොතේ මුළු ලෝකයේම තිබුණේ ආර්ථිකය කඩා වැටෙමිනි. එහෙත් ඊට ඔරොත්තු දිය හැකි අන්දමින් ශ්‍රී ලංකාව ශක්‌තිමත්ව තිබිණි. ඊට හේතුව වී තිබුණේ මෙරටට ආර්ථික ශක්‌තිය සපයන්නට තවත් පිරිසක්‌ තිරය පිටුපස සිට විශාල මෙහෙයක්‌ ඉටුකළ බැවිනි. ඒ විදෙස්‌ රටවල සිය ශ්‍රමය, කාලය, දහදිය වැය කළ මෙරට ශ්‍රමිකයන්ය, වෘත්තිකයන්ය. ඒ පිරිස්‌ ඩොලර්, පවුම් වලින් රටට ලබාදුන් ශක්‌තිය අතිමහත්ය. එහෙයින්ම ඔවුන් "රටවිරුවන්" ලෙසින් හැඳින්වීමේ වරද කුමක්‌දැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා අසන්නේය.

"මේ පිරිසට "රටවිරුවන්" කීම රුස්‌සන්නේ නැති පිරිසක්‌ අපිට ඉන්නවා. මේ චෝදනා කරන්නේ ඉතාම කුහක චේතනාවකින්. මේ අය අපි "රටවිරුවන්" හැටියට පමණක්‌ නම් කරලා ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ඒ අය ඇගැයීමට ලක්‌කරන්න ඕනේ. රට විරුවන්ගේ සංවිධාන රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම හදලා තියෙනවා. පිටරටවල ඉන්න ඒ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ පවුල්වල අය එකතු කරගෙන ඒ අය රැක බලාගන්න රටවිරුවන්ගේ සංවිධාන අපි හදලා තියෙනවා. අගෝස්‌තු (04) අපි, ඒ රටවිරුවන්ගේ සංවිධානයේ ජාතික සම්මේලනය නෙළුම් පොකුණේදී ආරම්භ කරනවා. ඒකෙන් පස්‌සේ අපි මහා සම්මේලනයක්‌ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තියෙනවා".

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා රටවිරුවන් ගැන එසේ සඳහන් කළේ අතිශය හැඟීම්බරවය.

(විදේශ රැකියා ප්‍රවර්ධන හා
සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සමඟ කළ
සාකච්ඡාවක්‌ ඇසුරිනි)

උපුටා ගැනීම: http://www.divaina.com/2013/08/04/politics09.html