අමාත්‍ය ඩිලාන් පෙරේරා


ආගමට මුවාවී වීරයෙක් ලෙස චරිත ගොඩනංවා ගන්නවා වෙනුවට, ජාතිවාදියෙක් නොවී පිස්සෙක් වෙන එක හොඳ බව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් කිසිම මොහොතක ජාතිවාදියෙක් නොවන බවත් කවුරු කෙලෙස කීවද තමන් එදා සිටි ප්‍රතිපත්තියේම සිට මානුෂවාදියෙක් ලෙස කටයුතු කරන බවත් පැවැසූ ඇමැතිවරයා ආගමට මුවාවී බලසේනා පිහිටුවාගෙන ඇතැමුන් රට ගිනි තියන බවත් සඳහන් කරයි.
හාලිඇළ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේය.
‘රටේ නැවැත යුද්ධයක් ඇති කරන්න මේ බළසේනා නම් අවජාත සංවිධාන උත්සාහ දරනවා. ඒ අය එහෙම කරන කොට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාතීන් වෙනුවෙන් හඬනඟනවා. මේවා ඉවසන්න බැරි බළසේනා සංවිධාන ඩිලාන්ට පිස්සු යැයි කියනවා.
ජාතිවාදී ගිනි අවුලා රට ආපස්සට ගන්නවාට වඩා හොඳයි පිස්සෙක් වෙන එක. ජාතිවාදයෙන් හෝ ආගම්වාදයෙන් වීරයෙක් වෙන්න මට ඕනෑ නෑ. පසුගිය කාලයේ හලාල් භීතිකාවක් ඇති කළා. ඒකෙන් වුණේ මුස්ලිම් සහෝදරත්වය තවත් ශක්තිමත් වීමයි. මුස්ලිම්වරු කවදත් සිංහල අය සමඟ සහෝදරත්වයෙන් ඉන්නවා. හාලිඇළ කවදත් ආගම්වාදයෙන් විනාශ කරන්න බෑ කාටවත්. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. එහෙම කරන්න බළසේනා හාලිඇළට ආවොත් එදාට මෙහේ මිනිසුන්ගේ තරම පෙන්නනවා.
එහෙන් මෙහෙන් අටවගන්න පිරිසකට රට අනතුරේ හෙළන්න ඉඩ දෙන්නේ නැහැ. අන්තිමට පැත්තවත් නැතිªව තමයි යන්න වෙන්නේ. නිර්මල බුදු දහමට නිගා කරන මේ අන්තවාදී ත්‍රස්තවාදීන් අපි හඳුනා ගන්න ඕන. ඒ අය තමයි නැවැත රට යුද්ධයකට ගෙනයන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කරන්න කිව්වෙත් නැහැ. බුදුන්ගේ කාලේ ජීවත් වුණු අපේ හාමුදුරුවරුන් හරිම බුද්ධිමත්. කවදාවත් ශ්‍රාවකයන් තමන්ගේ වුවමනාවලට යොදා ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ හැම ආගමකටම ගරු කරලා කාටවත් හිංසාවක් කෙළේ නෑ. ඒකට අද කාලේ බළසේනා කරන්නෙම හිංසා. මස්කඩ ළඟ නවත්වලා තියෙන ලොරි පුච්චනවා, ඒ කඩ කඩනවා, වෙන අයට ආගමික දේශනා පවත්වන්න දෙන්නේ නෑ. මේ කරන්නේ බුදු දහමට නිගාවක්. අහිංසාවාදී බුදුදහම අද බළසේනාකාරයෝ විකෘති කරලා.
කරුණාරත්න අබේසේකර රචනා කළ ආර්. ඒ. රොක්සාමි සංගීතය සැපයූ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය කවුද ගායනා කරන්නේ. මොහිදින් බෙග්. අපේ ජාතික සංගීතඥයා. බලන්න බෞද්ධ හින්දු – මුස්ලිම් එකතුවකින් රටම ආදරය කරන ගීතයක් නිර්මාණය වූ හැටි. අන්න ඒවයි නියම බොදු බල සේනා. ඒ අය රටටම වැඩ කළා. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා සමුළුවේදී ලංකාවට එරෙහිව නැඟී සිටින විට අපිත් එක්ක සහායට ආවේ මැදපෙරදිග මුස්ලිම් රටවල්. අපිට මේවා අමතක කරන්න බැහැ. ලංකාවට වැඩිම ආදායම එන්නේ මැදපෙරදිග රටවල සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ගෙන්.
ඇයි එහෙම නම් මුස්ලිම් විරෝධයක් මේ රට තුළ ඇති කරන්න දඟලන්නේ. මේකට තමයි කුහකත්වය කියන්නේ. බෞද්ධාගම අන්තවාදීව යොදා ගෙන ජාතික වීරයෝ වෙන්න දඟලන්නේ නැතිව අපි ලාංකිකයන් විදියට හිතලා වැඩ කරන්නයි ඔය ජාතිවාදී බළසේනාවලට කියනවා.
මුස්ලිම් රටවලින් අපට ලැබෙන තෙල්වලින් තමයි ඊනියා බළසේනාවල උදවිය සැප කාර්වල යන්නේ. ඒ තෙල් හලාල්? කියලා බැලුවද? මැදපෙරදිග තෙල් ගහලා යන්නේ නැතුව පයින් යන්න. ඒකයි අපි කියන්නේ මේ ජාතිවාදී උන්මත්තකයන්ට ජනතාව කවදාවත් රැවටෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ මේ බළසේනා රජ සැප විඳින එක විතරයි. ඔවුන් ජනතාව මුළා කරනවා’ යයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

උපුටා ගැනීම: www.mawbima.lk