(වෛරයෙන් වෛරය නොසන්සිඳේ)

මම බෞද්ධයෙක්මී. මම ඒ ගැන අභිමානවත්ව, නිහතමානීව සතුටු වෙමි. මගේ ඒ අභිමානයටත් සතුටටත් හේතුවක් තිබේ. ඒ අප මහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සම්බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කරගත් ධර්මයක් වන බැවිනි. මෙලොව පරලොව දෙකටම මග කියන මා දත් දහම බුදු දහම වන බැවිනි.
බුදු දහම ගිහියෙක් වූ මට ජීවන මග කියා දුන්, කියාදෙන දහමකි. බුදුදහම නිසා මම නිවුනේ වුනෙමි. බොහෝවිට තවමත් කිපෙන සුඵ මම හැකි හැමවිටෙක පරුෂ වචන, වෛරයේ භාෂාව වෙනුවට දයාවත් කරුණාවත් මෛත්‍රියත් පතුරන්නට උත්සාහ ගනිමි. ඒ සඳහා මම බදු දහමින් ආභාෂය ලබන්නෙමි. ඒ සඳහා මට මග කියා දුන්නේ මා ළමා කාලයේදී ලද දහම් පාසල් අධ්‍යාපනයයි.
මා දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ මුලින්ම මොරටුව එගොඩ උයන ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලෙනි. දැනට වසර සීයයක් ඉක්ම වූ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල ආරම්භ කරන ලද්දේ මාගේ මවගේ පියා විසිනි. මා දෙවනුව දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ වජිරාරාමයෙනි. වජිරාරාමවාසී නාරද ස්වාමීන්වහන්සේ අපගේ ගුරුවරයානෝ වූහ. උන්වහන්සේගේ සිල්වත් බවත් සංවරශීලි මෛත්‍රිය පතුරවන වචනත් අප වෙනස්ම මිනිසුන් පිරිසක් කළ සේක.
මේ ඉතිහාස කතා මා ගෙන හැර දක්වන්නේ ආසන්නම දිනෙක වෛරී භාෂාව පතුරවන සිදුවීමක් මා දුටු නිසාවෙනි.
මම බෞද්ධයෙකු වන නිසාම බෞද්ධ නොවන සියල්ලන්ටමත් මෛත්‍රී කළෙමි. වෛරයේ ප්‍රතිඵලය ලෙස 30 වසරක් පුරා උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක මිනිස් ජීවිත විනාශ වූ සැටි මම දුටුවෙමි. ඒ ජීවිත අතර සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් භක්තිකයෝද වූහ. වෛරය වැපිරූ පසු අස්වැන්න වන්නේ විනාශයයි. ඒ සත්‍යය යථාර්තයක් සේ අත්දුටු සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයෙක් ලෙස මම ජාතීන් අතර වෛරය පැතිරෙනවාට එරෙහි වෙමි. විරුද්ධ වෙමි.
එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වෙනුවට මාව නුරුස්නා එක් භික්ෂුවක් දැන් මා වෙත වෛරයෙන් ප්‍රකෝපව වචන වලින් දමා ගසමින් සිටී.
මෙම වෛරී භාෂාව ඇසුණු මාගේ මතකය යොමු වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වසල සූත්‍රය වෙතටයි. සැවැත්නුවර අනේපිඩු සිටිතුමන් විසින් සසුනට පරිත්‍යාග කළ දෙව්රම් වෙහෙරෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් සිටිනා සමයක සිය නිවසෙහි ගිනි දල්වා ,අග්නිහෝමය, කරමින් සිටි අග්ගික භාරද්වාජ බමුණු නිවසට පිඩුසිඟා වැඩි සේක. බමුණා භාග්‍යවතුන් වහන්සේට වසලයා, මුඩු මහණා, නීච මහණා.... ආදී පරුෂ වෛරී භාෂාවෙන් දමා ගැසීය. කෝප නොවු බුදුරජාණන් වහන්සේ බමුණාට වසලයෙකු වන කරුණු පහදා දුන් සේක.

"න ජච්චා වසලෝ හොති - න ජච්චා හොති බ්‍රාහ්මණො"
"කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො"


"යමෙක් තමන් උපන් ජාතිය හේතුකොට ගෙන වසලයෙක් නොවේ. බ්‍රාහ්මණයෙක්ද නොවේ. ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වේ.”

මම මේ බුදු දහම විශ්වාස කරමි. මගේ ජීවිත කාලයේ පුරා බොහෝ භික්ෂුන් වහන්සේ ඇසුරු කර ඇත්තෙමි. වෙනත් ආගමික යතිවරයන්ද මම ඇසුරු කර ඇත්තෙමි. ඒ සෑම කෙනෙකුගෙන්ම මා උගත්තේ මෛත්‍රීය, කරුණාව සහ සමානාත්මතාවයයි. මම ඒවා අගය කරමි. ආරක්ෂා කරමි.
ඒ නිසාම බොදු බල සේනා ලෙස නම් කර ගනිමින් අහිංසක සිංහල බෞද්ධ ජනයා විනාශයේ ආගාධය වෙත ගෙන යන ව්‍යාපාරයක භික්ෂුවක් ආක්‍රෝෂ, පරිභව පරුෂ වචනයෙන් වෛරය පතුරවමින් කතා කිරීම මට නම් විමතිය දනවන සිදුවීමකි. මා දන්නා ආකාරයට වචනය සංවර කරගත්, කෝටියක් සංවර ශීලය රකිනා උපසපන් භික්ෂූන් වහන්සේ මෙවැනි භාෂාවක් භාවිතා කිරීම විමතියකි. ශෝකය දනවන්නකි.

එසේම බොදු බල සේනා ව්‍යාපාරයේ තේමා ගීතය වන .......

"ඝෝර මරසෙන් රැුගෙන බල සෙන්
යලිත් ඇවිදින් පෙරහැරේ
මාර බල බිඳි බුදු පියාණෙනි
ඔබ දෙසු ධර්මය අනතුරේ"


පදවැල් කිහිපය මෙන්ම එහිම එන ..........

"නව යුගයේ නෙක බුදුවරු පහළව
ගෞතම බුදුරුව කඵවරේ.....”

යන වදන් වැල්ද යලි යලිත් අපට සිහිපත් කරන්නේ බෞද්ධ වේශයෙන් එන මේ අබෞද්ධ විනාශකාරී බලවේග පිළිබඳව යැයි මම විශ්වාස කරමි.
මම මේ වෛරයට පෙරළා වෛර නොකරමි. එමෙන්ම ජාතීන් අතර සහයෝගීතාවත් මිනිස්කමත් වෙනුවෙන් මා දරණ ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකරමි. මා වෙත එල්ල වන වෛරය පිරි සියඵ අවලාද, අපහාස අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත දමමි. මම දැන උගත් බුදු දහම අනුව යමින් වෛරය පතුරන්නන්ට මෛත්‍රී කරමි.
ඒ අතරම ජාතිවාදීන් නොවන, යුදවාදීන් නොවන, අන්තවාදීන් නොවන අපේ රට අලූත් යුද්ධයක් කරා ඇද වැටෙනවා දකින්නට අකමැති බහුතරයක් ගෞරවනීය ශ්‍රී ලාංකිකයන් වෙත විවෘත ආරාධනයක් කරනු කැමැත්තෙමි.
අපි ගෙවූ භීෂණකාරී, විනාශකාරී අතීතය අපේ දූ පුතුන්ටත් අනාගත ශ්‍රී ලංකාවටත් අත්විඳිමට ඉඩ නොදෙමු. මේ මොහොත අප ලද ජයග්‍රහණය ආපසු හරවන, රට විනාශය කරා ගෙනයන ජාත්‍යන්තර මෙන්ම දේශීය සතුරන්ගෙත් අවස්ථාව නොකරමු.
ජනතාව බෙදා විනාශ කරමින්, ජනතාව එකිනෙකා අතර වෛරී කොටස් බවට පත් කරන සියළු ආකාරයේ විනාශකාරීන්ට සාමකාමීව එරෙහි වෙමු. ඒ සඳහා අප එකිනෙකාගේ අත් අතනොහැර අත්වැල් ගෙන එක්වෙමු.

"නහී වේරේන වේරානී සම්මන්තීධ කුද්‍රාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො"


"මෙලොව කවර කලෙකවත් වෛර කිරීමෙන් වෛරය නොසන්සිඳේ. වෛරය සන්සිඳෙන්නේ අවෛරයෙනි. අවෛරයෙන් වෛරය සන්සිඳෙන බව පෞරාණික ධර්මයයි. එය බුද්ධාදී උතුමන් ගිය මගයි.”

ඒ උතුම් මග අනුව යමින්ම ,කැලෑ සතා, වනචරයා........, ආදී වෛරී පරුෂ වචනයෙන් මට දෙස් දෙවොල් තබන බොදු බල සේනා භික්ෂුව ඇතුඵ සියල්ලන්ටම සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, යනුවෙන් මෛත්‍රී කරමි.

තෙරුවන් සරණයි!



ඩිලාන් පෙරේරා
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය