- ඇමැති ඩිලාන් පෙරේරා


පිටරටින් ගෙන්වන පිටි කිරිවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු වීම නිසා විවිධ රෝගාබාධ ඇති වන බව සෞඛ්‍ය අංශ පැවසීම නිසා විෂ කිරි වෙනුවට දේශීය දියර කිරි සඳහා විශාල ඉල්ලූමක්‌ නිර්මාණය වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

එම නිසා දේශීය දියර කිරි කර්මාන්තය නගා සිටුවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ වහාම සැකසිය යුතුව ඇතැයි ඇමැතිවරයා බදුල්ල ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා උපකරණ බෙදාදීමේ අවස්‌ථාවකට එක්‌වෙමින් කියා සිටියේය.

කිරි කර්මාන්තය ගැන කතා කරන කොට හරක්‌ ගැන කතා කරන්න වෙනවා. විවිධ හරක්‌ ඉන්නවා. ළඟදී මටත් භික්‌ෂූන් වහන්සේ නමක්‌ විවිධ සතුන්ගේ නම් කියලා ආශිර්වාද කළා. භික්‌ෂූන් බනින්නේ නෑනේ. ආශිර්වාද කරන එක කරන්නේ. මටත් ආශිර්වාද කළා. මම ඉතින් සතුන්ගේ නම් කියපු ඒ හාමුදුරුවන්ට සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා කියනවා. විවිධ වර්ගයේ හරක්‌ ගැන කතා කරනකොට ඒ හැම හරකම අපිට ප්‍රයෝජනයි. එළදෙන ගෙන් කිරි ගන්න පිරිමි ගවයින් ප්‍රයෝජනයි. කාලයක්‌ යන කොට පිරිමි ගවයගෙන් ගන්න තියෙන ප්‍රයෝජන අඩු වෙනවා. වයසට යනකොට ගවයා බරක්‌ වෙනවා. ඒත් කිරි ගොවියා ඒ හරකා මරන්නේ නෑ. මම හැම සතාම මරණවට විරුද්ධයි.

විෂ කිරි ගැන මේ කාලෙ කතා කරන කොට දියර කිරි ගොවියා අපට වැදගත්. මේ කිරි ගොවියා තමයි ගවයො බලාගන්නේ. කිරි ගොවියාට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ තමයි වයසක හරක්‌ට මොකද කරන්නේ කියන එක. හරක්‌ මරනවට ගිනි තියා ගත්ත අය. විවිධ සංවිධාන හිතන්නේ නෑ. මේ වයසක හරක්‌ට මොකද කරන්නේ. ඒ නිසා කිරි ගොවියාට ඇතිවන ප්‍රශ්න ගැන. මෙය කිරි ගොවියාට මහා බරක්‌. විෂ කිරි වෙනුවට පිරිසිදු දියර කිරි සපයන කිරි ගොවියාගේ පැත්තෙන් බලන්න ඕනේ. ඒත් අර වයසක හරක්‌ මරන්න බෑ. මොකද හරක්‌ වෙනුවෙන් මිනිස්‌සු ගිනි තියා ගන්නවා. එතකොට අර වයසක හරක්‌ගේ වගකීම මොන සේනාවද ගන්නේ. හරක බලා ගන්න කවුරුත් නෑ. ඒකට එන්නේ මොන හරකද. ඒකයි ඇත්ත. මම ඇත්ත කියන්න ගිහින් සතුන්ගේ නම් වලින් පිදුම් ලැබුවා. මේක මෙතනින් නවත්තන්න ඕනෑ. දැන් කියයි ඩිලාන් හරක්‌ මරනවට කැමතියි කියලා. මම කියන්නේ හරක්‌ කුකුළන් විතරක්‌ නෙවෙයි මදුරුවෝ මරණ එකත් පාප කර්මයක්‌. මම නම් හැම සතාම මරණවට විරුද්ධයි. දැන් මම කිව්ව එක මාධ්‍යවල යනකොට මට සත්තුවත්තේ ඉතිරි සතුන්ගේ නම් කියලා බනියි. එහෙම බැන්නත් කිරි ගොවියගේ මේ ප්‍රශ්න දැන් කතා කරන්න කාලය හරි.

විදේශ රැකියාවල නිරත වී යළි මවුබිමට පැමිණි අය සඳහා කිරි නිෂ්පාදන කර්මාන්තය හඳුන්වා දීමටත් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කිරි ගොවි සංවිධාන රටවිරු සංවිධාන සමගද එක්‌වීමේ වැදගත්කමද පැහැදිලි කළේය. විදේශ විනිමය වැඩි ප්‍රමාණයක්‌ රටකිරි සඳහා ගෙවනවා වෙනුවට දේශීය කිරි ගොවියාට ගෙවීමේ වැදගත්කම හා දේශීය නිෂ්පාදකයා දියුණු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.