මෙතෙර විතරක් නොවේ එතෙරත් බෞද්ධ ජනතාවට සේවය කරනවා...
පැජරෝවලින් බැහැල සුරසැප විඳිමින් බෞද්ධකම් කරන්න බෑ.....
ඇමති ඩිලාන් අවධාරණය කරයි.


අපේ ගම්වල ඉන්න හාමුදුරුවෝ පයින් හරි, බයිසිකලෙන් හරි ගිහින් ධර්ම දේශනා කළා. බෞද්ධ, ඉස්ලාමීය, හින්දු, ක‍්‍රිස්තියානි මේ හැමෝගෙම දුක සැප බැලූවා. ගමේ ඉන්න හැම ජාතියකටම අයත් ජනතාව සමග ගමේ පන්සලේ හාමුදුරුවෝ හොඳ අවබෝධයෙන්, සුහදත්වයෙන් කටයුතු කළා. එයයි නියම බොදු බලය. විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ, හාලිඇල ප‍්‍රදේශයේ පැවති වැඩිහිටි උපහාර හා සිල්රෙදි බෙදා දීමේ උත්සවයට සහභාගිවෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා,
”අපේ අම්මලා තාත්තලා දරුවෝ මහන්සියෙන් හදලා වඩලා, ඒ දරුවන්ගේ දරුවොත් හදනවා කියන්නේ මහ`ගු කාර්යයක්. ඇතැම් පළාත් වල අපි හීනෙන්වත් නොහිතන දේවල් වෙනවා. අම්මාව කාමරයක හිර කරලා දොර යටින් කෑම දෙන සමාජයක කවුද අම්මල තාත්තල කරන සේවය අගයන්නේ. ඒ කාර්යය අගයන්න මගේ ඇස් පෑදුවේ හාලිඇල වැඩිහිටි සංගමයයි. වැඩිහිටි සමාජ වල අම්මලා තාත්තලා මේ රටට ගමට වැඩදායී පුරවැසියන් ලෙස කල සේවය ඇගයීමේ දී මම පාට පක්ෂ භේද බලන්නේ නෑ. පාසැල් පොත් බෙදා දෙනකොටත් පක්ෂය බැලූවේ නෑ. මේ වැඩපිළිවෙල වෙන කිසිම මැතිවරණ කොට්ඨාශයක කරන්නේ නැත්තේ ඒ අය ඡුන්දය බලාගෙන හැමදේම කරන නිසයි. අපේ අම්මල තාත්තලා කළ සේවය මේ සිල් රෙද්දෙන් මනින්න බෑ. මං ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මගේ වත්කමේ හැටියට කරන පිංකමක් මේ. මේ දශමයක ඇගයීමක් පමණයි. මේ දේ පොඩිහිටියන්ට ආදර්ශයක් වේවී. මැදිහිටියෝ හැටියට අපි පොඩිහිටියන්ට කියන්නේ වැඩිහිටියන්ට ගරු කරන්න කියලයි.”
මෙහිදී ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට නිගාවන ලෙස අද බොහෝ අය ක‍්‍රියා කරන බවයි. සැබෑ බෞද්ධ දර්ශනය අවිහිංසාව, කරුණාව, මෛත‍්‍රිය මත පදනම් වී තිබෙන බවත් වෛරය හා මිලේඡ්චත්වය තුලින් අද ඇතැම් අය බෞද්ධ දර්ශනයට මුවාවී සමාජය අස්ථාවර කිරීමට උත්සහ දරන බවද ප‍්‍රකාශ කළේය. එහෙත් ඒ සඳහා සමාජය කිසිවිටෙකත් ඒ අයට ඉඩ ලබා නොදෙන බව ද සඳහන් කළේය.
”මං අපේ හාමුදුරුවන් 25 නමක් එක්ක කොරියාවට යනවා ධාතු වඩම්මන්න. එහේ ඉන්න අබෞද්ධ ජනතාවට පිරිත් කියන්න. මේක නේද සැබෑ බොදු බල සේනාව කියන්නේ. නැත්තම් සත්තු වත්තේ ඉන්න ඔක්කෝම සත්තුන්ගේ නම් කියන අයටද බොදුබල සේනාව කියන්නේ. පැජරෝ වලින් බහින හාමුදුරුවරු නෙවෙයි නියම හාමුදුරුවරු. අපේ ගම්වල ඉන්න හාමුදුරුවරු ත‍්‍රීවීල් එකකින් නැත්තම් කාගේ හරි බයිසිකලයකින් තමයි බණට වඩින්නේ. උන්වහන්සේලා තමයි නියම හාමුදුරුවරු. උන්වහන්සේලා නිසයි සාසනේ රැකෙන්නේ.”
නියම බොදු බලය තියෙන්නේ ගමේ පන්සලේ බවද ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. මෙහිදී කිරිගොවීන් 215 දෙනෙකුට උපකරණ ප‍්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

20131017-mil1.png

20131017-mil2.png