රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් කෑගහලා වෙනස් කරන්න බෑ...
කොරියානු රැකියා ලැබෙන්නේ E-9 වීසා ක්‍රමයට පමණයි...
ඒත් දැන් අයිතිකාරයෝ හැමතැනම
ඇමති ඩිලාන් පෙරේරා අවධාරණය කරයි


දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා තෝරාගන්නේ භාෂා පරීක්ෂණයෙන් සමත් අය පමණක් බවත් එය E-9 වීසා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා (MOU) ගිවිසුමට අනුව පමණක් බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි. ඔහු මෙම අදහස් පළකළේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) ආධාර මඟින් ආරම්භ කරන ලද නව විදේශ භාෂා බහුමාධ්‍ය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එය රත්මලානේ පිහිටුවා තිබේ. මෙම භාෂා පුහුණු මධ්‍යස්ථානය මඟින් ඉංග්‍රිසි භාෂාව ඉගැන්වෙන අතර, පරිගණක තාක්ෂණයෙන් හා බහුමාධ්‍ය භාවිතයෙන් අධ්‍යන කටයුතු සිදුකෙරේ. මෙයට අමතරව පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම සඳහා පාඨමාලා මෙහිදි පැවැත්වේ. සිංගප්පූරුව, සයිප්‍රස්, හොංකොං රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින්ට මෙහිදී දින 15ක ඉංග්‍රිසි භාෂාව හා පරිගණක පුහුණුව ලබාදේ. නේවාසිකව මෙහිදී අධ්‍යන කටයුතු සිදු කෙරෙන අතර එකවර සිසුන් 75 කට පමණ පහසුකම් සැපයේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. “ අපි මේවගේ වැඩ ආරම්භ කරන කොට වැඩිය ප්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම කරන්න ගියාම ඇතැම් අය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා අපි එරට රජයත් මගේ අමාත්‍යංශයත් අතර ඇති කරගත් ගිවිසුමක් තියෙනවා. රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ (Korean Job Permit System) E-9 වීසා වලින් පමණයි කොරියාවේ රැකියාවලට යන්න පුළුවන්. කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේ සම්පූර්ණ බලය තියෙන්නේ මගේ අමාත්‍යංශයට හා විදේශ සේවා කාර්යාංශයට පමණයි. වෙන කිසිම ආයතනයකට හෝ සමිතියකට පුද්ගලයෙකුට බලය නැහැ. ගිවිසුමේ තියෙන්නේ එහෙමයි. නමුත් මේ ළඟදී ඉඳන් පිරිසක් බුරනවා, උම්බෑ ගානවා. ධීවර රැකියා ඩිලාන්ට දෙන්න බෑ කියලා. ඒවා අයිති අපට කියලා බුරනවා. එහෙම බිරුවට උම්බෑ ගෑවට රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් වෙනස් කරන්න බෑ. ධීවර අංශයේ රැකියා සඳහා මෙවර තෝරා ගන්නා තරුණ තරුණියන්ට කොරියාවේ රැකියා සඳහා යන්න ඉඩ දෙන්නේ නෑ කියලා එක මනුස්සයෙක් බුරනවා. හැබැයි E-9 වීසා ක්‍රමය යටතේ මේ තෝරා ගන්නා සුදුසුකම් තියෙන තරුණ තරුණියන්ට කොරියාවේ රැකියා ලැබෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒකට මම ඉඩ දෙන්නේ නෑ. ජනාධිපතිතුමා තමයි කොරියාවේ රැකියා ලංකාවට ගෙනාවේ. එහෙම නම් කාටවත් බෑ මේ රැකියා ක්‍රමය කඩාකප්පල් කරන්න. ධීවර සමිතිවලට බෑ කොරියානු රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න. ධීවර අංශයේ තරුණයින් මට කථාකරලා කියනවා ඔවුන් සම්පූර්ණ සහය මට ලබා දෙනවා කියලා.
ධීවර අංශයේ රැකියා දෙන්න ඩිලාන්ට අයිතියක් නෑ, ඒකෙ අයිතිය තියෙන්නේ අපිටයි කියන අයගේ ලේකම්ලා, නැන්දලා, මාමලා මේ අහිංසක තරුණ තරුණියන්ව E-10 වීසා ක්‍රමයට එනම් භාෂා පරීක්ෂණයකින් තොරව රැකියා සඳහා යවනවා කියලා සල්ලි වංචා කරනවා. ඒ ගැන මට වාර්ථා ලැබිලා තියෙනවා. E-10 වීසා ක්‍රමයක් තවම ක්‍රියාත්මක නෑ. එහෙම ක්‍රියාත්මක උනත් ඒකෙ වගකීම මගේ අමාත්‍යංශයට පමණයි තියෙන්නේ. මේ විදිහට මුදල් වංචා කරන අයට අහුවෙන්න එපා කියලා මම ධීවර තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා. E-9 වීසා ක්‍රමයට මෙවර විභාගයෙන් අපට රැකියා 960 ක් ලැබිලා තියෙනවා. කාටවත් සල්ලි දෙන්න එපා. විභාගයෙන් පාස් නම් කොරියාවේ යන්න පුළුවන්. මම ඒක කරලා දෙනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.