ඊට අමතරව විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන් වෙනමම රටවිරු විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටද පියවර ගන්නා බවද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි. ලෝක වෙළෙදපොළට තරගකාරී ලෙස පිවිසීම සඳහා ඒ ඒ රටවල භාවිතා කරන භාෂාව සහ සංස්කෘතිය මෙන්ම පරිගණක දැනුම අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන ඇමැතිවරයා ඒ අනුව මේ පියවර ගන්නා බවද එය කඩිනමින් සිදුකරන බවද කියාසිටී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේද සහයෝගය ඇතිව මේ වනවිට නව භාෂා බහුමාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් රත්මලානේ ස්ථාපිත කර තිබෙන අතර එහිදී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමතරව පරිගණක තාක්ෂණයෙන් සහ බහුමාධ්‍ය භාවිතයෙන් අධ්‍යයන කටයුතු සිදුකෙරේ. සිංගප්පූරුව, සයිප්‍රසය, හොංකොං රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට දින 15 ක පුහුණුවක් මෙහිදී ලබාදෙන අතර නේවාසික අධ්‍යයන කටයුතුද සිදුකෙරේ. මෙහිදී එකවර 75 දෙනෙකුට පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතී.

මූලාශ්‍ර: http://www.dinamina.lk/2013/11/21/_art.asp?fn=n13112113