පසුගිය ඌව පළාත් සභා මැතිවරණය අවසානයේ පසුගිය 22 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපි හාලිඇල සන්ධානයට පක්ෂ විපක්ෂ පිරිස් වෙත ස්තූතිය පළ කිරීම සඳහා හාලිඇල ප්‍රදේශයේ නිවෙස් වෙත ගියෙමු. එම කටයුතු අවසානයේ හාලිඇල නගරයට පැමිණි අපි එහි වෙසෙන අයටද ස්තූති කර දිවා ආහාරය සඳහා හාලිඇල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල වෙත ගියෙමු. අප එහි පැමිණී බව දැනගත් සන්ධානයේ ආධාරකරුවෝ මෙන්ම අවට ප්‍රදේශවාසීහුද එම ස්ථානයට පැමිණීයහ. මේ අවස්ථාවේ අපි සිටි ස්ථානය හාලිඇල නගරයේ සිට මෙන්ම බදුල්ල කොළඹ මාර්ගයෙන්ද ඉවත පිහිටි ස්ථානයකි.

ඒ අතරතුර ඌව පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණෙන් තරඟ වැදි හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දැනට දිවුරුම් දී නොමැති ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් රථ පෙළපාලියකින් විරෝධතා සහ සටන්පාඨ කියමින් බදුල්ලේ සිට හාලිඇල නගරයටද පෙරළා හාලිඇල නගරයේ සිට බදුල්ල දෙසට පැමිණ තිබේ. හාලිඇල ප්‍රාදේශීය සභාව පිහිටි මාවත අසලදී (එම ස්ථානයේ හාලිඇල පොලිස් මාර්ග බාධකයද තිබේ.) සිය රථයෙන් බැසගත් හරීන් ප්‍රනාන්දු මහතා අසභ්‍ය වචනයෙන් මාගේ නම ඈඳා මා පිළිබඳ විමසා ඇත. ඒ අවස්ථාවේ ඒ මහතා අසල දෙපසින් පෙළපාලියේ පැමිණි පිරිස අතර අප ප්‍රදේශයේ නොවන දෙදෙනෙක්ද පොලූ දෙකක් රැගෙන් පැමිණි ඇති අතර මා පිළිබඳව අසභ්‍ය වචනයෙන් විමසීම පිළිබඳ ව හාලිඇල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු හරීන් ප්‍රනාන්දු මහතාට විරෝධය දක්වා තිබේ. ඒ ක්ෂණිකයෙන් ඔහුට පහර දී ඇති හරීන් ප්‍රනාන්දු මහතාත් ඔහුගේ ආධාරකරුවනුත් හේතුවෙන් මාර්ගය අසල රැඳි අපගේ ආධාරකරුවන් හා හිතවත්තු ආත්ම ආරක්ෂාව තකා පෙරලා පහර දී ඇත. අනතුරුව දෙපිරිසම ගැටුමට ලක්ව ඇති අතර හරීන් ප්‍රනාන්දු මහතාත්, ප්‍රදේශයේම පදිංචි අප හොඳින් දන්නා හඳුනන අස්ලම් නැමති අයත් ඇතුළු පිරිස පළාගොස් තිබේ. තත්පර කිහිපයකදී ක්ෂණිකව සිදුවූ මේ ප්‍රහාර හා ආරක්ෂිත ප්‍රති ප්‍රහාර සිදුවන විටත් මමත් තව බොහෝ දෙනකුත් සිටියේ හාලිඇල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දිවා ආහාරය ගනිමිනුයි.
මේ ගැටුම අතරතුර අප ඉතාමත් හොඳින් පෞද්ගලිකව හදුනන මාධ්‍ය වෘත්තීන්හි නියැලෙන දෙදෙනෙක්ද ප්‍රහාරයට ලක්වී ඇත. එය කණගාටුදායක මෙන්ම මා පෞද්ගලිකවත් අපේ ආණ්ඩුව ලෙසත් හෙලා දකින සිදුවීමකි. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් එක් අයකු මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් පෞද්ගලික ගමනක් ගොස් සිටියදී එම ප්‍රහාරයට ලක්ව ඇති බවයි. එහි අදහස වන්නේ එතුමා සිය මාධ්‍ය රාජකාරිය සඳහා මෙම ස්ථානයට නොපැමිණි බවයි. ඒ අතර සමහර දෙනෙකු පවසන්නේ එතුමාත් හරීන් ප්‍රනාන්දු මහතාගේ රථයකින්ම මෙම ස්ථානයට පැමිණ ඇති අතර එතුමාගේ පෞද්ගලික වෑන් රථය පෙළපාලියට පිටුපසින් වෙනම පැමිණ ඇති බවයි.

අනෙක් මාධ්‍යවේදී මහතා මීට පෙර හාලිඇල ප්‍රාදේශීය සභාවේ අප ඉතාමත් හොදින් දන්නා හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. හාලිඇල නඟරයේ සියල්ලෝ ඔහු හදුනන්නේ මාධ්‍යවේදියකු ලෙස නොව එජාප ක්‍රියාකාරි දේශපාලනඥයෙකු ලෙසයි. එමනිසා එජාප - සන්ධාන දෙපිරිස අතර ගැටුමකදී සිදුවන පරිද්දෙන්ම ඔහු එජාප ආධාරකරුවකු ලෙස පහරකෑමට ලක්ව ඇත. එසේ වුවත් මම එම පහරදීමත් හෙලා දකිමි.
එජාප - ශ්‍රීලනිප - ජවිපෙ ආදී ඕනෑම දේශපාලන මත දරන්නෙකුට "අපක්ෂපාතීව" මාධ්‍යවේදියකු වීමේ අයිතියට මම ගරු කරන නිසාම ඔහුගේ මාධ්‍ය අයිතියට ගරු කර යලි යලිත් එම පහර දීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් අනතුරට පත්වූ ඒ මහතා බදුල්ල රෝහලෙන් ඉවත් කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර එය එතුමාගේ සොහොයුරාට සහ ඔහුගේ බිරිඳට අයත් පෞද්ගලික රෝහලකි. එසේම ඒ දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයන්ය. තදබල අනතුරක් ඇති රෝගියකු බදුල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට ඇතුල් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් එතුමා ඇතුලත් වී ඇත්තේ සිය පවුලේ අයට අයත් පෞද්ගලික රෝහලකට වීම අප අමතක නොකළ යුතු කරුණකි.
මෙම ක්ෂණික පහර දීම, ආරක්ෂීත ප්‍රතිප්‍රහාර හා පලායාමෙන් අනතුරුව එම ස්ථානයේ සිටි හරීන් ප්‍රනාන්දු මහතා වහාම පැමිණියේ බදුල්ල බණ්ඩාරනායක මාවත පිහිටි මාගේ නිවසටයි. ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ මාගේ පියා පමණකි. පියාට සිද්ධිය සැලකළ හරීන් ප්‍රනාන්දු මහතා අප නිවසේ සිට මීටර් කිහිපයක් ඈතින් පිහිටි ඒ මහතාගේ නිවස වෙතත් කාර්යාලය වෙතත් ගොස් ඇත.
හරීන් ප්‍රනාන්දු මහතා හාලිඇල සිට වහාම මාගේ නිවසට පැමිණී හේතුව දන්නේ එතුමාගේ හෘදය සාක්ෂිය පමණි. මා දන්නා පරිදි අසල්වැසියන් ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මා පිළිබඳවත් මාගේ දයාබර අම්මා සහ තාත්තා පිළිබඳවත් ඉතා හොඳින් දනියි. අපගේ දේශපාලනය තුල මැරකම්, ජඩකම්, ත්‍රස්තකම් නැති බව ඔහු හොඳින්ම දනියි. ආරක්ෂාව පතා ඔහු ඉක්මනින්ම මාගේ නිවස වෙත පැමිණියේ ඒ නිසා බව මටත් වඩා හොඳින් හරීන් ප්‍රනාන්දු මහතාගේ හෘදය සාක්ෂිය දනියි. නොඑසේනම් අප නිවසට පැමිණ ඇත්තේ මාගේ පියාට හෝ නිවසට පහරදීමටදැයි දන්නේ එතුමාම පමණකි.
හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාස කළ ලෙසට මම ඔහු ආරක්ෂා කළෙමි. මෙම සිදුවීම හේතුවෙන් දහසකට අධික අප පාක්ෂීකයන් මෙන්ම හිතවතුන්ද මාගේ නිවසට රැස්වූ අතර ඔවුන් කෝපයට පත්ව තිබිණි. එක් අසුරු සැණකින් ඇතිවිය හැකි විනාශය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 30 වසරක දේශපාලනය කළ මම හොඳින් දන්නා නිසා වහාම අදාල පුද්ගලයන් අමතා හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසටත් කාර්යාලයටත් පොලිස් විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ලබා දුනි. අද මේ මොහොත වන විටත් හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලේ නොසිට කොළඹ සිටියදීත් එතුමාගේ නිවසටත් කාර්යාලයටත් එකී ආරක්ෂාව අඛණ්ඩව ලබා දෙමින් සිටියි. එතුමාගේ කාර්යාලය හා නිවසට පෙනෙන දුරින් පිහිටි මාගේ නිවසට කිසිදු ආරක්ෂාවක් මා ලබා ගෙන නැත. ලබා දුන්නේද නැත. මා උපන් බදුල්ල, මා හැදි වැඞී ජීවත් වන බදුල්ලේ ජනතාව මට විශ්වාස අතර හරීන් ප්‍රනාන්දු මහතාට ආධාර පිණිස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් පැමිණී පිරිස 22 දින වහාම කොළඹ ගොස් ඇති නිසාත් මට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේද නැත. හරීන් ප්‍රනාන්දු මහතාගේ කොළඹ අය සිටියත් අපි පොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ නැත. ඒ අපේ දේශපාලන සංස්කෘතියයි.
එහෙත් තමන් ලඟ සිටි කොළඹ උදවිය කොළඹ ගිය පසු කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා ඇති හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ මගේ ආධාරයට කොළඹින් පැමිණී පිරිසක් හාලිඇලදී ඔවුන්ට පහර දුන් බවයි. එහෙත් ඊයේ දිනයේදී පහරදුන් බවට නම් කර තිබුණේ අපගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආධාරකරුවන්ය.

තමන් විසින් කළ පහරදීමත්, නීති විරෝධීව පශ්චාත් මැතිවරණ සමයේ රංචුගැසී පෙළපාළි යෑමත් පෙරළා පහර කෑමත් සහ පළාත් සභා මැතිවරණය පරාජයත් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා වියරු වැටී දැන් මාධ්‍ය සන්දර්ශන පවත්වමින් සිටියි. එලෙසෙම එජාප පෙළපාලියක පැමිණියේ යැයි කියන පෞද්ගලික ගමනක් ගොස් හරීන් ප්‍රනාන්දු මහතාගේ නීති විරෝධි එජාප පෙළපාලිය සමඟ පැමිණි මාධ්‍යවේදියාත්, හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාධ්‍යවේදියාත් මෙම අවාසනාවන්ත ගැටුම මාධ්‍යවේදීන්ට කළ පහරදීමක් ලෙස හුවා දක්වමින් සිටිති.
හරීන් ප්‍රනාන්දු මහතා නොදන්නා සරල අංක ගණිතය දන්නා ඕනෑම අයෙකුට වැටහෙන පරිදි ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යලිත් වරක් ජයග‍්‍රහණය කර තිබේ. හිටපු අමාත්‍ය රවි සමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි සමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සචිත‍්‍රානන්ද, හිටපු මන්ත්‍රී වේලායුදන් මහතාගේ පුත් ඇතුලූ එජාපයේ ර්‍ණඒ” කණ්ඩායම සන්ධානයේ ර්‍ණබී” කණ්ඩායම විසින් පරාජය කර තිබේ.
මා දන්නා හරීන් මල්ලීටත් ජවිපෙටත් මේ සරල අංක ගණිතය වැටහෙන්නේ නැත. සංකීර්ණ වීජ ගණිත සූත‍්‍රයක බහා ඔවුහු පරාජය වසා ගන්නට තැත් කරති. මට හරීන් මල්ලීට පැවසීමට ඇත්තේ ඉතාමත් කෙටි කරුණකි. මම මාගේ දේශපාලන ජීවිතය තුලදීත් අපේ පක්ෂයත් දේශපාලන මැතිවරණ ජයග‍්‍රහණයන් පරාජයන් ලබා ඇත්තෙමු. හරීන් මල්ලී සිය ජීවිතයේදී දේශපාලනය පරාජය වූ විට කුඩාදරුවකු ලෙස කලබලයට පත්ව ඇත. දේශපාලනයේ අමිහිරි තිත්ත කසායේ රසය පරිනත දේශපාලනඥයෙකු විදිය යුතුමය. හරීන් මල්ලි දැන් පරාජය පිළිඅරගෙන ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස ගෞරවාන්විතව හැසිරෙමින් මීලඟ මහා මැතිවරණයේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ ගත යුතුය. ඒ සඳහා වැඩිහිටියකු ලෙස දේශපාලනය දෙස බලමින්, හැසිරීමට ඉගෙනගත යුතුය. පරාජයේ පාඩම ඉගෙන ගැනීමට හරීන් මල්ලි යා යුත්තේ තමන්ගේම නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතය. එතුමා පරාජයට පත්වූ පසු හැසිරෙන ආකාරය හරීන් මල්ලිට කියාදෙන බව මට විශ්වාසයි.
කෙසේ වෙතත් කව්රුන් ආරම්භ කර කව්රුන් අවසන් කළත්, කව්රු කාට අවශ්‍ය ආරක්ෂාව කඩිනමින් මේ දක්වා අඛණ්ඩව සපයා දුන්නේත් බදුල්ලේ අපි විසින් ගොඩනැගූ දේශපාලන සමගියයි. මිනිසුන් අතර සහෝදරත්වයක් තදින් ආරක්ෂා කරමින් ඒ පිළිබඳව විශ්වාසය තබන්නෙකු ලෙස මේ අවසනාවන්ත සිදුවීම අවංකවම හෙලා දකිමි. මොන පරමාර්ථයෙන් කාගේ පෙළපාලියේ ආවත් අප දන්නා හඳුනන මාධ්‍යවේදීන් දෙදෙනාට සිදුවූ අනතුරද ගැඹුරින් හෙලා දකිමි.
මෙවැනි නොමේරූ දේශපාලන ක්‍රියා ස්වයංව නිර්මාණය කර ගනිමින් ප්‍රතිප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවන බව නොදැන අවසානයේ පළාගිය තත්වයක් යලිත් බදුල්ලේ පමණක් නොව කිසිදු ස්ථානයක සිදු නොවේවායි මමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙසත් අපි සියලූ දෙනාත් අවංකවම ප්‍රාර්ථනා කරමු.