විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය

සෞදි අරාබියාවේ දී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් නිදහස් කර ගැනීමේ සටන කිසි විටෙකත් අත් නොහරින බව රජය අවධාරණය කරයි. ඇයගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බව පවසමින් ඇතැම් මාධ්‍ය ආයතන විවිධ ප්‍රචාරයන් ගෙන යාම හේතුවෙන් ඇයව නිදහස් කර ගැනීමට ඇති හැකියාව අහිමි විය හැකි බවත්, මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත්, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ සෞදි අරාබියාවේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට නියම වී තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන බවට මාධ්‍ය මඟින් පළවූ වාර්තාව සම්බන්ධයෙන් “දිනමිණ” ට විශේෂ ප්‍රකාශයක් කරමිනි. සෞදි අරාබියාවේ ගෘහ සේවය කළ රිසානා නෆීක් නැමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව අතින් ඇය සේවය කළ නිවෙසේ කුඩා බිලිඳකු මරණයට පත් වීමේ චෝදනාවට වරදකරු කරමින් එරට අධිකරණයක් මඟින් ඇයට මරණ දඬුවම නියම කරනු ලැබීය.

කෙසේ වුවද එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තාවකාලිකව අත්හිටුවා තිබෙන බව ද ඇයව නිදහස් කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක් ම මේ වන විටත් ගෙන තිබෙන බව ද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. ඊට අමතරව ඒ මහතා පෙන්වා දෙන්නේ මේ නඩු තීන්දුව කලකට පෙර ලබා දුන් එකක් බවත් ඒ සම්බන්ධයෙන් යළි යළිත් ප්‍රචාරයන් ගෙන යාමෙන් සෞදි අරාබියානු ජන සමාජය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව වැරැදි මතයක් ගොඩනැඟෙන බවත්ය.

Source: http://www.divaina.com/2011/06/29/news27.html