දකුණු කොරියානූ රැකියාලාභීන් අමතමින් ඇමති ඩිලාන් කියයි.

දකුණු කොරියාවේ රැකියා ලබා මෙරටින් පිටව යන ශ්‍රමිකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපතිවරුන් වශයෙන් සේවය කළ යුතු බවත් ලෝකයේ විවිධ ජාතීන් අතර ගැවෙසෙමින් ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවා තැබීමේ වගකීම ලාංකික ශ්‍රමිකයින් වෙත පැවරෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළකළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බගවන්තලාව රාජ්‍ය වැවිලි සේවක පුහුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන දකුණු කොරියානූ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීහු පිරිසක් විසිරයාම වෙනුවෙන් පසුගියදා (ජූලි 31. පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. කොරියානු රැකියා සඳහා මේ දිනව රැකියා ගිවිසුම් වැඩි වශයෙන් ලැබෙන තත්ත්වය හමුවේ වැඩි ශ්‍රමිකයන් පිරිසක් කඩිනමින් රැකියා සඳහා පිටත්කර යැවීමට මෙරට තරුණයින් වැඩි වශයෙන් තෝරා ගැනීම හේතුවෙන් කොරියානු රැකියා පුහුණු කටයුතු සඳහා බගවන්තලාවේ අලූතින් ආරම්භ කරන්නට විය. බගවන්තලාව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ දෙවන කණ්ඩායම ලෙස මෙදින ඔවුහු විසිරයන්නට විය.

මෙහිදී කායික යෝග්‍යතා පුහුණු හා කොරියානූ භාෂා පුහුණු පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ තරුණයින් 195 දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම විසිරයාම වෙනුවෙන් පැවති එම උත්සව අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා වෙනුවෙන් පුහුණුලාභීන් විසින් අචාර පෙළපාලියක්ද පවත්වනු ලැබීය.

එහිදී දකුණු කොරියානූ රැකියාලාභීන් අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් ලෙස විදේශයන්හිදී ඔබ කුමන දේ කළද එය පෞද්ගලික සීමාවෙන් ඔබ්බෙහි ඇති බවද ඔබ සිදු කරන හොඳ ක්‍රියාවකදී මෙන්ම ඔබෙන් සිදුවන අතපසුවීමකදී ඔබේ නම සමඟ මව්බිමේ නම ද එකට ඈදෙන බව ද පැවසීය. තායිලන්තය, වියට්නාමය, ඉන්දියාව ආදී දකුණු කොරියාවට රැකියා සඳහා ගොස් ඇති රටවල් 15ක් අතරේ ශ්‍රී ලාංකීය සළකූණ සුරැකීම ශ්‍රමිකයින්ගේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා, ඒ මත මෙරටට හිමිවන කොරියානූ රැකියා ප්‍රමාණය තීරණය වනු ඇති බව පෙන්වාදුන්නේය. ලබන වසරේදී දකුණු කොරියානු රැකියා 15000ක් මෙරටට ලැබිමට නියමිත බව එහිදී පැවසූ අමත්‍යවරයා මෙරටට වැඩිවැඩියෙන් කොරියානු රැකියා අවස්ථා හිමිවීමට දකුණු කොරියාවේ රැකියා ස්ථානතුළ මෙරට ශ්‍රමිකයින් හොඳින් සේවය කිරීම හේතුවනු ඇති බවද පැවසිය. තමුන් රැකියාවට යන ස්ථානයේ හොඳි කටයුතු කරමින් එහි ප්‍රධානීන්ගේ විශ්වාසය දිනාගනිමින් වීනීතව, කඩසරව කාර්යක්‍ෂමය කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකික ශ්‍රීමිකයන් ගැන එරට කර්මාන්තකරුවන්ගේ පැහැදීමක්, විශ්වාසයක් දිනාගැනීම අවශ්‍ය බවත් එය තමුන්ටත් හොඳ සේවා පරිසරයක් වනවාට අමතරව අනාගතයේ වැඩිවශයෙන් අප රටේ ශ්‍රමිකයන් කොරියාවට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට එය ඉවහල් වන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා, අඹගමුව ප්‍රාදේශීය ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර, කාර්යාංශයේ බදවාගැනීම් හා පුහුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය යන මහත්වරුද සහභාගී වී සිටියහ.


20110803-img_1603.jpg

20110803-img_5173.jpg