මෙරට ශ්‍රමිකයින් නුපුහුණු සේවකයින් ලෙස විදේශ රැකියා සදහා යැවීම වෙනුවට අර්ධ පුහුණු හා පුහුණු සේවකයින් ලෙස විදේශ රැකියා සදහා යොමු කිරීම ශ්‍රී ලංකා රජයේ සහ තම අමාත්‍යාංශයේ අරමුණ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විදේශ රැකියාවල නියුතු ශ්‍රමික ප්‍රජාවගේ හැකියා හදුනා ගැනීම සදහා ජාතික වැඩසටහනක් පිළියෙල කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කොට තිබූ වැඩමුළුවකදීය. කොළඹ ටාජ් සමුද්‍රා හොලටයේ ඊයේ සහ අද පැවැත්වෙන වැඩමුළුවේ පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍යවරයා ඊට සහභාගී විය. මෙම වැඩමුළුව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍යාංශයේ හා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් පැවැත්වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සිය අමාත්‍යාංශය මගින් ආරම්භ කොට ඇති රැකියා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව : Employment Promotional Road show Series පිළිබදව ද එහිදී කරුණු දැක්වීය. එම වැඩසටහනේ ප්‍රධාන අරමුණ අලුත් රැකියා වෙළදෙපාළ වෙත ප්‍රවේශවීම හා ඉහළ වෘත්තීන් සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමේ අවස්ථා ලබා ගැනීම බව පැවසූ අමාත්‍යවරයා එම අරමුණ ඉදිරි වසර කිහිපයේදී ඉටුකර ගැනීම සදහා විදේශීය රටවල්ල රැකියා සපයන සපයන ආයතන, හා රට රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්වලට වඩ වඩාත් යොමුවීමට සිය අමාත්‍යාංශය ක්‍රියා කරන බවද පැවසීය.
තේ පොල් රබර් හා නිමි ඇදුම් ඉක්මවා යමින් ලංකා ආර්ථිකයේ ප්‍රධාන විදේශ විනිමය උපයන්නා බවට පත්වීමට විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමික ජනතාවට හැකිවී ඇති බව ද එහිදී සදහන් කළ අමාත්‍යවරයා තම අරමුණ රටේ ආර්ථිකයට මෙම ක්ෂේත්‍රයේ කෙරෙන දායකත්වය තවදුරටත් වැඩි කිරිම බවද නුපුහුණු කාන්තාවන් වෙනුවට පුහුණු හා අර්ධ පුහුණු පිරිමින් රැකියා සදහා යොමු කිරීම බවද අවධාරණය කළේය. රටේ සමාජ සංස්කෘතික පැවැත්මට කාන්තාවන්ගේ දායකත්වය වඩ වඩාත් අවශ්‍ය බැවින් කාන්තාවන් වෙනුවට පිරිමින් විදේශ රැකියා සඳහා යොමුවිය යුතු බව ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී ඩොන්ග්ලින් ලී, එම සංවිධානයේ වෘත්තීය නිපුනතා පිළිබඳ විශේෂඥ ආචාර්ය පෝල් කොමින් යන මහත් වරුන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුළු දේශිය ආයතන ගණනාවක නියොජිතයින් ද විදේශීය රටවල නියොජිතයින් රැසක් ද සහභාගී වී සිටියහ.


20110808-img_1853.jpg

20110808-img_1889.jpg