විදේශ රැකියා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ තොරතුරු මහජනයා වෙත කඩිනමින් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේ නිර්මාණය කළ විගමනික තොරතුරු මධ්‍යස්ථානය අද (අගෝ 23) පෙරවරුවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධාන්වයෙන් විවෘත විය.

එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වු ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා, විදේශ රැකියා ක්‍ෂේත්‍රය ඉලක්කගත ලෙස දියුණු කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බව පැවසීය. එහිදි රටේ ආර්ථිකය සවිමත් කිරීමට එතෙර ශ්‍රමය වගුරුවන විගමනික ප්‍රජාවගේ සුබසාධනය සැලසිම මූලික තැනෙහි ලා ගැනෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දුක්ගන්නාරාළ තනතුරෙහි කාර්යය අදින් පසු විවෘත කෙරුණු තොරතුරු මධ්‍යස්ථානය මගින් ඉටුවනු ඇති බවද සඳහන් කළේය. නවීන තාක්ෂණය සමග බැදෙමින් මහජනයාට කඩිනම් සේවා සැපයීම රාජ්‍ය අංශයෙහි වගකීම බව එහිදි සදහන් කළ අමාත්‍යවරයා ඉලක්ක ගත වැඩපිළිවෙළ අනුව ලබන වසර අවසන් විමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩදාසි රහිත, තොරතුරු තාක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීම තම අපේක්ෂාව බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවේ ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා අදහස් දක්වමින්, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අරඹා ගතවූ වසර 05ක කාලය තුළ එයට ලැබී ඇති මහජන ඇමතුම් මිලියන 07ක් අතරින් වැඩිම ඇමතුම් ලැබී ඇත්තේ විදේශ රැකියා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් බවත් එවැනි පසුබිමක් තුළ විගමනිකයින් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරීම කාලින අවශ්‍යතාවක් සම්පූර්ණ වීමක් බව පැවසීය.

මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජෙසිංහ, කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක හා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී රිචඞ් ඩැන්ෂින්ගර් යන මහත්වරුන් ද සහභාගී වීය.

20110824-img_4438.jpg
info_center@slbfe.lk

විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතතාවය හා සුබසාධනය වෙනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළට අනුව යමින් මෙම තොරතුරු මධ්‍යස්ථානය නිර්මාණය කොට තිබේ. විවෘත කෙරුණ තොරතුරු මධ්‍යස්ථානය මගින් විදේශයන්හි රැකියාවල නිරතවන්නන් හට අවශ්‍ය තොරතුරු හා සේවා සැපයෙන අතර විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල අයට හා රැකියා නියෝජීතයින් වෙනුවෙන්ද එමගින් සේවා සැපයීම කාර්යාංශයේ අපේක්ෂාව වේ. එමෙන්ම විදේශ රැකියා බලාපොරොත්තුවන පුද්ගලයින්ටද එම මධ්‍යස්ථානය හරහා තොරතුරු ලබාගත හැකිය.

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇතිවන ගැටලූ සඳහා අවශ්‍ය මැදිහත්වීම් හා ඔවුන් වෙනුවෙන් ඉතා කඩිනම් සේවා සැපයීම විවෘත කෙරෙන තොරතුරු මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ. එමෙන්ම රට රැකියා ප්‍රවර්ධනය හා විදේශ රැකියා ක්‍ෂේත්‍රය හා බැදෙන සියලූ අංශ කාර්යක්ෂම ලෙස ඒකාබද්ධ කිරිම ද මෙමගින් සිදුකිරීමට අපේක්ෂිත මහජන සේවාවන් අතරවේ.

විගමනික තොරතුරු මධ්‍යස්ථානය දිනයේ පැය 24 පුරා මහජනතාවට විවෘතව පවතින අතර විශේෂ පුහුණු කාර්ය මණ්ඩලයක් මෙහි සේවයේ යොදවා තිබේ.

0112879900 සිට 902 දක්වා වන දුරකථන අංක හා
011287903 යන ෆැක්ස් අංක මාර්ගයෙන් තොරතුරු මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකිය.
එමෙන්ම info_center@slbfe.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ද ඒ හා සම්බන්ධවිය හැකි අතර infocenter_slbfe යන skype අන්තර් ජාල ලිපිනය හරහා තොරතුරු මධ්‍යස්ථානයට සජීවී වීඩියෝ ඇමතුම් ලබාගනීමට පහසුකම් සලසා තිබේ.